ජානාගේ අනියම් බිරියගේ එක් කෝටි 60 ලක්ෂයක කුඩු අත්තිඩියේදී හසු වෙයි.

රුපියල් එක් කෝටි 60 ලක්ෂයකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමඟ අඹු-සැමි යුවළක් අත්තිඩිය නිවෙසකදී පෙරේදා (23) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකරු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ කම්කරු සේවකයෙකි.

එම සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 45ක් හා සැකකාරිය සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 810ක්, විද්‍යුත් තරාදියක්, මත්කුඩු පැකට් කිරීම සඳහා යොදා ගන්නා හැන්දක්, ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 41,000ක මුදලක් ඇතුළු උපකරණ රැසක් සමඟ මත් කුඩු පැකට් කිරීමට යොදා ගත් කුඩා කොළ කැබලි තොගයක් ද පොලිසිය බාරයට ගෙන ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කළ දීර්ඝ විමර්ශනයකදී උප පොලිස් පරීක්ෂක චානකට ලද තොරතුරක් අනුව වැටලීම කර ඇත.

වැටලීම කරන අවස්ථාවේ දී අඹු-සැමි යුවළ නිවස තුළ මත්කුඩු පැකට් කරමින් සිටි බවත් පොලිසිය කියයි.

මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මර්වින් ජානා නමැත්තාගේ අනියම් බිරිය වන රුසියාවේ පදිංචි දිලිනි නමැත්තියට මෙම මත්කුඩු තොගය අයිති බව සැකකාර අඹු-සැමි යුවළගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණ වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර අඹු-සැමි යුවළට ලැබෙන මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සිය නිවස වසර කිහිපයක සිට පවත්වාගෙන ගොස් තිබූ අතර පැකට් කරන ලද මත්කුඩු ගල්කිස්ස, පිලියන්දල, මොරටුව පානදුර ආදී ප්‍රදේශවලට බෙදා හැර ඇති බව පොලීසිය කියයි

‘ෆේස්බුක් ලාංඡනය‘ සහිත කුඩා ප්‍රමාණයේ මුද්දර සහිත කොල මත්කුඩු පැකට් කිරීම සඳහා යොදාගෙන තිබූ බවත් වැටලීම කළ පොලිස් නිලධාරියකු පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකාර අඹු-සැමි යුවළ වයස අවුරුදු 35 හා 37 අතර පසුවන්නන් බවත් පොලිසිය කියයි.

සැකකාර අඹු-සැමි යුවළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.