ඉන්ධන මිල ගැන කැබිනට්ටුව ගත් තීරණය

සෑම මසකම පළමු වනදා සහ 15 වනදා මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය සිදුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිල පහළ යෑමේ හැකියාවක් තිබෙන බවය.

ප්‍රශ්නය – මැතිසභයේ ඡන්දයක් පැවැත්වීමට ඔන්න මෙන්න තිබෙද්දි රනිල් වික්‍රමසිංහ මහතා රු 10කින් රු 20කින් ඉන්ධන මිල පහත දැමුවා.

ඒක වැරදියි. අපි සති දෙකකට හෝ මාසයකට වතාවක් ඉන්ධන මිල වෙනස් කරන්න තමා අපි තීන්දු කරලා තිබුණේ. මිල සුත්‍රයක් තියෙනවා. හැම මාසයේ ම 1 වනදා රාත්‍රීයේ සහ 15 වනදා රාත්‍රීයේ. මේ දින දෙකේ තමා අනිවාර්යයෙන්ම මිල සංශෝධනය වෙන්නේ. බොහෝ දුරට අපිට පේනවා මිල අඩුවේගන යන ප්‍රමාණයක් පේනවා. ඒ නිසා මම හිතනවා ඊළඟ මිල සංශෝධනය ඇතුළෙත් යම්කිසි අඩුවීමක් සිදුවෙයි කියලා. සියලුම ත්‍රීරෝද රථහිමියන්ට අද අපි පොලීසිය දැනුවත් කරලා තියෙන්නේ සියලුම පොලිස් ස්ථාන වෙත තමන්ගේ පොලිස් ස්ථානයට ගිහින් ඉදිරි දින කිහිපය තුළ ලියාපදිංචි වෙන්න. ඒ ලියාපදිංචි වෙද්දි ඔබේ ආසන්නම ඉන්ධන පිරවුම්හල මොකද්ද කියන එකත් දැනුවත් කරන්න. ඉදිරියේ දී අපි වෙන්කරනවා එයා ලියාපදිංචි වෙලා ඉන්න පිරවුම්හලෙන් විතරයි ඉන්ධන ලබාගත හැක්කේ. නැත්නම් මේක පාලනය කරන්න බැරිවෙනවා.

මෙරටට ඉන්ධන ගෙන්වා ගැනීමේ අභියෝගයක් පවතින බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

පහුගිය මාසයේ අපි ඇනවුම් කරපු සහ මුදල් ගෙවපු නෞකා ගත්තොත් ඩීසල් නෞකා දෙකක් දැනටමත් පැමිණිලා මේ සංචිතවලට එකතුවෙලා තියෙනවා. මට මතක විදියට පෙට්‍රල් නෞකා දෙකත් ජූලි 23 තමා දෙවැනි එක ගොඩබෑම ආරම්භ වෙලා ඒ කටයුතු සිද්ධවුණේ. මේ මොහොත් ගොඩබෑමේ කටයුතු සිද්ධවෙනවා දැවිතෙල් නෞකාවක. ඒ වගේම අපේ මුහුදු සීමාවේ දැනටත් තියෙනවා ඩීසල් නෞකාවක්. මුදල් තියෙනවා නම් අපි කවුරුත් කැමති නෑ රඳවා තැබීමේ ගාස්තු ගෙවමින් මේක එළියේ තියලා තියන්න. පහුගිය කාලවල දී ඉන්ධන ආනයනයේ දී දින 180ක අපිට ණය කාල ලැබුණා. දැන් අපි මිල දී ගන්නා එකකට ගෙවන්න ඕනේ දින 180කට පස්සේ. හැබැයි දැන් අපිට වෙලා තියෙන්නේ අඩුම තරමේ දින 20කට 30කට පෙර ගෙවන්න ඕනේ අපි දැන් කරන ඇනවුම්වලට. ඊයේ සවසත් සාකච්ඡා කරමින් සිටියා තවත් නෞකා 6ක් සඳහා ඇනවුම් දැනට දමමින් තිබෙනවා. අපිට යම් අභියෝගයක් තියෙනවා ඊළඟ නැව් කිහිපය මිලදී ගන්න.

ප්‍රශ්නය – QR කේතය දැන් බාලගිරි දෝෂයට හසුවෙලා නේද?

සංකල්පය හැදුවට වැඩක් වෙන්නේ නෑ ඉන්ධන පිරවුම්හල් ඒකට අනුගත වෙන්නේ නැත්නම්. ඒකට ජනතාව අනුගත වෙන්නේ නැත්නම්.

Leave a Reply

Your email address will not be published.