ක්ෂණික මුදල් හුවමාරු ක්‍රම ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලැබූ අඹුසැමි යුවළකගේ දේපළ ක්‍රියාවිරහිත කර තිබේ.
මේ සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ ලෙස සිදුකළ විර්මශනයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.
සිරිසර උයන, බේස්ලයින් මාවත, බොරැල්ල ලිපිනයේ පදිංචි මෙම අඹුසැමි යුවළක් විසින් 2017 වසරේ සිට මේ දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බව හෙළි වී ඇත.
මීට අමතරව, සැකකරුවන් එයින් ලද මුදල් සැකකාරියගේ මවගේ ගිණුම් වෙත තැම්පත් කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.
තවද, සැකකාරිය විසින් නීති විරෝධි ලෙස උපයා ගන්නා ලද මුදල් යොදවා අතුරුගිරිය, ඔරුවල ශාන්ත ලෝකාගම, කොරතොට, 08 වන පටුමගේ පිහිටි පර්චස් 06 ක ඉඩමක් හා එම ඉඩමේ ඉදිකර ඇති නිවස 2023 වර්වෂයේ දෙසැම්බර් මස රුපියල් ලක්ෂ 300 කට ආසන්න මුදලකට මිලදී ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව මෙම සැකකරුවන් විසින් මිලදී ගන්නා ලද මෙම නිවස සහිත ඉඩමට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ඊයේ (20) දින සිට දින 07 ක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ඇත.
ඊයේ අතුරුගිරිය ඔරුගොඩ ප්‍රදේශයේදී සැකකාර අඹුසැමි යුවළ නීති විරෝධී වත්කම් විර්මශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අවුරුදු 32 ක් හා සැකකරු අවුරුදු 37 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
මත්ද්‍රව්‍ය ජවාරමෙන් උපයා ගන්නා ලද මුදල් තැම්පත් කර ඇති බවට සැකකරන සැකකාරියගේ, සැකකරුගේ හා සැකකාරියගේ මවගේ නමින් පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම් 06 ක් සම්බන්ධයෙන් හා සැකකරුගේ නමින් මිලදී ගෙන ඇති සුඛෝපභෝගී කාර් රථයක් සම්බන්ධයෙන් ද නීතිවිරෝධී වත්කම් විර්මශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පවසයි.


