පාකිස්තානය ලකුණු 191ට කඩුලු 7යි තරගයේ තුන්වැනි දිනය අදයි.

පළමු ටෙස්ට් තරගය දිනා දුන් ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂෆීක් දෙවැනි පන්දුවෙන්ම දැවී යෑමෙන් අනපේක්ෂිත පීඩනයකට ගොදුරු වූ සංචාරක පාකිස්තාන පිල දිනය පුරා ඇද බැඳ තබා ගැනීමට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් සමත්වීම හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඊයේ නිමාවට පත් වන විට පාකිස්තාන පළමු ඉනිමේ කඩුලු 7ක්ම ලකුණු 191කට බිඳ වැටීමෙන් අසීරු අඩියකට ඇද වැටී සිටී. අංක 6 පිතිකරු අගා සල්මාන්ගේ මංගල ටෙස්ට් අර්ධ ශතකයට පින් සිදු වන්නට දෙවැනි වර පන්දුවට පහරදීමේ අවදානම මගහරවා ගත් ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 187ක් පසුපසින් සිටින අතර, ඉතිරිව ඇත්තේ තවත් කඩුලු 3ක් පමණි. දිනයේ අවසන් මොහොතේ ලකුණු 62ක් ලබා සිටි සල්මාන් දවාලීමට ප්‍රභාත් ජයසූරිය සමත් වීමත් සමග තරගය නතර වූ අතර, ඒ වන විට යසිර් ෂා නොදැවී ලකුණු 13ක් ලබා සිටියේය. සල්මාන් සහ යසීර් එක්ව 7 වැනි කඩුල්ලට ගොඩ නැගූ ලකුණු 46ක සබඳතාව පාකිස්තාන ඉනිමේ මෙතෙක් හොඳම සබඳතාව ද වේ.

ඊයේ උදෑසන ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 378කදී නිමාවට පත් වීමෙන් පසු පාකිස්තානය සිය පළමු ඉනිම ආරම්භ කළ අතර, අසිත ප්‍රනාන්දු යැවූ ඉනිමේ දෙවැනි පන්දුවෙන්ම අබ්දුල්ලා ෂෆීක්ගේ කඩුල්ල බිඳ වැටීම නිසා ශ්‍රී ලංකා පිලට වේලාසනින්ම තරගයේ පාලනය සියතට ගැනීමට හැකි විය. ෂෆීක්ගේ පිත්තේ ඇතුළත දාරයේ ගැටුණු පන්දුව කඩුල්ල තුළට රිංගා ගියේ පිතිකරුවාට කට උත්තර නැති කරමිනි. අනතුරුව ඉමාම් උල් හක් සමග එක් වූ නායක බාබර් අසාම් දිවා ආහාරය වන විට එක් කඩුල්ලකට ලකුණු 15ක් රැස් කරමින් කඩුලු රැක ගැනීමට සමත් වූවද, දිවා ආහාරයෙන් පසු යවනු ලැබූ සිව්වැනි ඕවරයේදී ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම කඩුල්ල වූ නායක අසාම් දවාලීමට ප්‍රභාත් ජයසූරිය සමත් විය. අවසන් මොහොතේ පසු පාදයේ ක්‍රීඩා කරමින් පන්දුව තල්ලු කර හැරීමට අසාම් ගත් උත්සාහය අසාර්ථක කරමින් පන්දුව ඔහුගේ පිත්තේ ඇතුළත දාරයේ ගැටී කඩුල්ල තුළට රිංගා යෑමෙන් ෂෆීක්ගේ ඉරණම ඔහුටද අත් විය.

අනතුරුව ඉමාම් සහ මොහොමඩ් රිස්වාන් ඉනිම පිළිසකර කිරීමේ දැඩි උත්සාහක නිරත වූ අතර, මුළු ලකුණු සංඛ්‍යාව 65 දක්වා ඉහළ දමමින් ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ගේ පීඩනය ඉවතට තල්ලු කිරීමේ සටනක නිරත වූහ. එහෙත් ඉන් පසු පන්දු යැවීමට කැඳවූ ධනංජය ද සිල්වා මුළු ලකුණු සංඛ්‍යාව 65දී ඉමාම්ට යැවූ පන්දුව ඔහුගේ පිත්තත්, පා ආවරණත් අතරින් කඩුල්ල තුළට රිංගා ගියේ පාකිස්තාන පිලට තුන්වැනි කඩුල්ලත් අහිමි කරමිනි. පාකිස්තාන පිලට තවත් ලකුණු 23ක් එක් වෙද්දී විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයෙන් මොහොමඩ් රිස්වාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් විය. ඒ වන විට ඔහු ලබා සිටියේ ලකුණු 24ක් පමණි.

පස්වරු තේ පානය වන විට පාකිස්තාන පිලේ කඩුලු 4ක්ම ලකුණු 111ක් ඇතුළත බිඳ වැටී තිබූ අතර, තේ පානයෙන් පසු ඉනිමට තවත් ලකුණු 8ක් එක්වෙද්දී ෆවාඩ් අලාම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත්වීමත් සමග පාකිස්තානුවන්ගේ පීඩනය තවත් ඉහළ ගියේය. අලාම් ආපසු ක්‍රීඩාගාරයට හැරී ගියේ සිය දැවී යෑමට එරෙහිව විනිසුරු තීරණය විමසීමකින් තොරවය. ප්‍රභාත් ජයසූරිය යැවූ ඉනිමේ 50 වැනි ඕවරයේදී හයේ පහරක් සහ හතරේ පහරක් පිට පිට එල්ල කරමින් පීඩනය ඉවතට තල්ලු කිරීමට සල්මාන් උත්සාහ කළද, රමේෂ් මෙන්ඩිස්ට තුන්වැනි කඩුල්ලත් අත්කර දෙමින් ඊළඟ ඕවරයේදී මොහොමඩ් නවාස් කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් දී දැවී යෑමෙන් පාකිස්තානයට 6 වැනි කඩුල්ලත් අහිමි විය. පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් ද, ප්‍රභාත් ජයසූරිය කඩුලු 2ක් ද දවාලීමට සමත් වූහ.

ඊයේ උදෑසන තරගය ආරම්භ වී මිනිත්තු 17ක් ගත වෙද්දී ශ්‍රී ලංකා පිලේ 7 වැනි කඩුල්ල ලෙස දුනිත් වෙල්ලාලගේ දැවී ගිය අතර, ඊට මොහොතකට පසු සිය 22 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ නිරෝෂන් දික්වැල්ල දැවී ගියේ නසීම් ෂාගේ පන්දුවකට එල්ල කළ දුර්වල පහරකිනි. ශ්‍රී ලංකා පළමු ඉනිම දිවා ආහාරයට පැය භාගයකට පමණ පෙර ලකුණු 378කට නිමාවට පත් වූ අතර, අගපෙළ පිතිකරු රමේෂ් මෙන්ඩිස් ලකුණු 35ක් රැස් කරමින් ඉනිමට කදිම දායකත්වයක් දැක්වීම කැපී පෙනිණි. නසීම් ෂා සහ යසීර් ෂා කඩුලු 3 බැගින් දවාගත්හ.

අද තරගයේ තුන්වැනි දිනයයි.

Leave a Reply

Your email address will not be published.