ජනපතිගේ නිවෙසට ගිනි තැබූ 20ක් හඳුනාගනී

  • සමාජ මාධ්‍යවල ඡායාරූපත් පිරික්සලා
  • සැකකරුවන්ගේ මුහුණු ළඟදීම මාධ්‍යට
  • සැකකාර හිටපු නි. ඇමැති පුතා එංගලන්තයට පැනලා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පස්වැනි පටුමගේ පිහිටි පෞද්ගලික නි‍ෙවස ගිනි තැබීමට සම්බන්ධ පුද්ගලයින් 20 දෙනකු මුහුණින් හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සමත්ව ඇත.

ඒ එම ගිනි තැබීම සිදු වන අවස්ථාවේදී එම ස්ථානයේ රැඳී සිටි පිරිස් සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද වීඩියෝ සහ ඡායාරූපත් ජනමාධ්‍ය ආයතනවලින් ගත් සංස්කරණය නොකළ දර්ශනත් සියුම් විමර්ශනයකට ලක් කිරීමෙන් අනතුරුවය.

මෙසේ මුහුණු මගින් හඳුනාගෙන ඇත්තේ නිවස ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරෙමින් නි‍ෙවසට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිස් සහ එසේ නිවස තුළට ඇතුළුවීමට ඒ අයව මෙහෙයවන ලද පුද්ගලයන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු සඳහන් කළේය.

එම මුහුණු ළඟදීම පොලිස් මූලස්ථානය විසින් මාධ්‍යට නිකුත් කරමින් ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ගැනීමට මහජන සහාය ගැනීමට ද නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය. එසේ අනන්‍යතාව හෙළි කර ගැනීමෙන් අනතුරුව එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නි‍ෙවස ගිනි තබන්නේ ඉකුත් 09 වැනිදාය. එම ගිනි තැබීමට සම්බන්ධ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පුතෙක් ඊට පසු දිනම ඩුබායි බලා පිටත්ව ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකර ගත්තේය. එම සැකකරු ඩුබායි සිට එංගලන්තය බලා ගොස් ඇති බවට තොරතුරු ද ලැබී ඇත. එම සැකකරු මෙරටට ගෙන්වා ගැනීමට ජාත්‍යන්තර පොලීසියෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සහාය ඉල්ලා තිබේ. එම විමර්ශන කටයුතු මේ වන විට සිදුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.