ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණයට කළ දැනුම්දීම

ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනා මාලාවක් බලශක්තිය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (26)ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

ඉන්ධන, විදුලිය, ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් විධිමත් ආකාරයෙන් හිඟයකින් තොරව මහජනතාව වෙත බෙදාහැරීමේ කෙටිකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් සකස් කරන්නැයි රජය වෙත නියෝගයක් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී එම දැනුම්දීම සිදුකෙරුණි.

මෙම පෙත්සම් අද කැඳවනු ලැබුවේ විජිත් මළල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ නියෝගයකට අනුව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර රැස්වීමක් ඉකුත් දා 18 වනදා පැවැත්වීමට කටයුතු කළ බව දන්වා සිටියේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම රැස්වීම සඳහා දිවයිනේ දිස්ත්‍රික් ලේකම්වරුන් ගණනාවක් සහභාගි වූ බව පෙන්වාදුන් අතර ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීම සඳහා ගත යුතු යෝජනා මාලාවක් තම සංගමය විසින් බලශක්ති අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළේය.

එම යෝජනා මාලාවේ අන්තර්ගත කාරණා ක්‍රියාත්මක කිරීමට ගත යුතු පියවර පිළිබඳව නිලධාරීන් කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත් මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දන්වා සිටියේය.

අනතුරුව එම මූලික අයිතිවාසිකම් පෙත්සම් අගෝස්තු මස 05 වනදා යළි කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම්දෙන ලෙසත් දෙපාර්ශ්වයට දැන්විය.

Leave a Reply

Your email address will not be published.