සමාජ මාධ්‍යයෙන් වෛරී සහගත ප්‍රකාශයන් පළකළ සැකකරුවෙක් රිමාන්ඩ්

සමාජ මාධ්‍ය ඔස්සේ ද්වේෂ සහගත සහ වෛරී සහගත අදහස් ප්‍රචාරය කළ සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු තොරතුරකට අනුව දකුණු පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකළ විමර්ශනයකදී ගාල්ල කොටුව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පැවසුවේය.

ඔහු ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළ වී තිබූ දැන්වීමකට අදාළව මහජනතාව අතර නොසන්සුන්තාවයක් ඇතිකර මහජන සාමයට බාධා ඇති කිරීමේ අරමුණින් අදහස් පළකර තිබේ.

හදිසි නීතිය ඇතුළු නීති යටතේ අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි ගාල්ල කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

ඔහු ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

අදාළ ප්‍රකාශයන් ප්‍රථමයෙන් පළකරන ලද ප්‍රධාන සැකකරු ඇතුළු ඊට සහය පළ කළ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් පරිඝණක අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.