ආණ්ඩුවේ හදිසි නීතිය සම්මත කිරීම වැරැද්දක් වෙනුවට කළ තවත් වැරැද්දක්

ආණ්ඩුව හදිසි නීතිය සම්මත කර ගත්තේ එකට එක කිරීමක් හා සමානව යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඊයේ (28 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බැව් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

හදිසි නීතිය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ආණ්ඩුව නියෝජනය කරන සහ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු එකඟතාවයකට පැමිණියා. ඒ හදිසි නීතියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට.

එහිදී මන්ත්‍රීවරු 41 දෙනෙක් ඡන්දය දීමට පාර්ලිමේන්තුවට පැමිණියේ නැහැ. ඔවුන් නියෝජනය කරන්නේ කුමන පාර්ශ්වයද කියා තේරුම් ගත හැකියි.

හදිසි නීතිය සම්මත කර ගැනීමේදී ආණ්ඩුව සිදු කළේ එකට එක කිරීමක් හා සමාන දෙයකි. එනම් වැරැද්දක් වෙනුවට තවත් වැරැද්දක් කිරීමක් හා දෙයකි.

අප තහවුරු කළ යුතු වන්නේ පුරවැසියන්ගේ අයිතීන් තහවුරු කිරීමය. එහිදී උද්ඝෝෂණ කිරීමේ නිදහස භාෂණයේ අයිතිය, සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය ලබාදීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි.

එසේම විරෝධතා උද්ඝෝෂණවල නිරතවන අයද විරෝධතාවයක තිබිය යුතු විනයානුකූල බව මහජන දේපොළවලට ගරු කිරීම ඒවාට හානි සිදු නොකිරීමට වගබලාගත යුතුයි. පුරවැසියන්ගේ අයිතීන්ට ගරු කළ යුතුයි.

නීතියේ ආධිපත්‍යය බිඳවැටීම තුළ රටක විනාශය සහ පරිහානිය ඇතිවේ. රටක විනාශය විනෝදයක් ලෙස භාවිතා කරන්න එපා. එය ඉතා භයානකයි.

රටේ ගමක් ගමක් ගානේ බෝක්කුවක් බෝක්කුවක් ගානේ අනාගතය ගැන සිතුවම් නැගූ තරුණ තරුණියන් සිය අපේක්‍ෂාවන් භංගවීම නිසා පාරට බැස අරගල කරන්න පටන් ගත්තා. මෙය අප අවබෝධ කරගත යුතුයි.

මෙය තේරුම් ගෙන ඊට විසඳුම් ලබාදිය යුතුයි. මේ මොහොතේ රටේ ජනතාව ඉල්ලන්නේ තනි පක්‍ෂයක් තුළින් විසඳුමක් නොව සර්ව පාක්ෂික ආන්ඩුවක් තුළින් විසඳුම්ය. නමුත් එම සර්ව පාක්‍ෂික ආණ්ඩුව සර්ව පූට්ටු ආණ්ඩුවක් නොවිය යුතුයි. එනිසා සියලු දෙනා එකට වාඩිවී සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් සාදාගෙන රට ගොඩ නැගීමට පියවර ගත යුතුයි.

ශ්‍රී ලංකා පොදු න පෙරමුණට ඡන්දය දුන් 69 ලක්‍ෂයක ජනතාව නියෝජනය කරන්න අප කටයුතු කරනවා. ඔවුන්ගේ අපේක්‍ෂාවයන් ඉටු කර දීමට පියවර ගන්නවා.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතාද අදහස් දැක්වීය.

Leave a Reply

Your email address will not be published.