ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්

ශ්‍රී ලංකාව මේවනවිට මුහුණ පා සිටින දරුණු ආර්ථික තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ ජනතාවට එහි බලපෑම එල්ල වන ආකාරය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බව ලෝක බැංකුව සදහන් කරයි.  

නිවේදනයක් නිකුත් කරමින් ලේාක බැංකුව ඊයේ(28) සඳහන් කළේ මෙම තත්ත්වය තවදුරටත් සමීපව නිරීක්ෂණය කරන බවයි. ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා උපරිම සහයෝගය ලබාදීම වෙනුවෙන් අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීපව සම්බන්ධීකරණය කරමින් සිටින බවද ලෝක බැංකුව පවසයි.

කෙසේවෙතත් ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බව ද ලෝක බැංකුව අවධාරණය කර ඇත. ඒ සඳහා ආර්ථික ස්ථායීකරණය කෙරෙහි අවධානය යොමු කරන ගැඹුරු ව්‍යුවහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බව අදාළ නිවේදනයේ සඳහන් වේ. 

මේ දක්වා ලෝක බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 160 ක පමණ අරමුදල් හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව වෙත ලබා දී තිබේ. 

මීට අමතරව, දැනට ක්‍රියාත්මක වන අනෙකුත් ව්‍යාපෘති, මූලික සේවාවන් ඔස්සේ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් බෙදා හැරීම, පාසල්වල ආහාර වැඩසටහන් ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා ද අඛණ්ඩව සහාය දක්වන බව ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published.