තෙල් බෙදුම්කරුවන්ගෙන් ඉල්ලීමක්

වාහන අංක තහඩුවේ අවසන් අංකයට අනුව පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම අවසන් වූ පසු පෝලිමෙන් ඉවත්වන ලෙස ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
කෙසේ වෙතත් 6, 7 , 8 , 9 යන ඉලක්කම්වලින් අවසන් වන අංක තහඩු සහිත වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම අද (29) සිදු කෙරුණ ද ඒ සඳහා දිවයින පුරා පවතින්නේ දිගු පෝලිම්.
ඉන්ධන පිරවුම්හල් 801ක කිව් ආර් ක්‍රමවේදයට අනුව ඉන්ධන නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. දැනට ඒ සඳහා ලියාපදිංචි වී ඇති රථවාහන සංඛ්‍යාව මිලියන 4.4ක් ඉක්මවා ඇති බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා.
ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල රැදී සිටියද ඇතැම් ප්‍රදේශවලින් තවදුරටත් වාර්තා වන්නේ අයථා ලෙස ඉන්ධන ලබා ගැනීමේ අවස්ථා පිළිබඳවයි.
මෙවන් පසුබිමක ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක අද මාධ්‍ය වෙත කියා සිටියේ ලබන සදුදා සිට කිව්. ආර් ක්‍රමවේදය ඔස්සේ පමණක් ඉන්ධන බෙදා හැරීම සිදුකරන බවයි.
මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඩීසල් ලබාගෙන ධාවනයෙන් ඉවත්ව ඉන්ධන ජාවාරමේ යෙදෙන පෞද්ගලික බස් රථවල ධාවන බලපත්‍ර අවලංගු කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
පසුගියදා පැවති රැස්වීමක දී ලංගම බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික බස් රථ 5,000 කට වැඩි ප්‍රමාණයකට දිනකට ඉන්ධන ලබාදෙන බවයි.
එයින් මගී ජනතාවට සිය සේවය නිසි පරිදි සපයන්නේ සියයට 70 ක පමණ බස් රථ ප්‍රමාණයක් බව ද පෙන්වා දී තිබෙනවා.
මේ අතර ඉන්ධන අර්බුදයක් පවතින මෙවන් මොහොතක දිරාපත්වෙමින් පවතින ඉන්ධන පිරවුම්හලක් පිළිබඳ තොරතුරු පොළොන්නරුව – වැලිකන්ද ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත වාර්තා වුණා.
ගම්වාසීන් පවසන්නේ එම පිරවුම්හල අලුත්වැඩියා කර ප්‍රදේශයේ සමූපකාරයට හෝ පවරා දීමට කටයුතු කළහොත් එය සිය දෛනික කටයුතුවලට මහත් පහසුවක් බවයි.
මේ අතර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගාස්තුද ලබන පළමුවැනිදා සිට යළි ඉහළ නැංවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එය සියයට 15කට ආසන්න ප්‍රතිශතයකින් සිදුකිරීමට තීරණය කර ඇත්තේ පසුගියදා සිදුකළ ගාස්තු සංශෝධනයට සමගාමීවයි.
ඒ අනුව රුපියල් 2700ක් ලෙස පැවැති කොළඹ කොටුව සහ යාපනය අතර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගාස්තුව රුපියල් 3000 දක්වා ඉහළ දැමෙන අතර සෙසු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගාස්තුද මීට සමගාමීව ඉහළ යනු ඇති.

Leave a Reply

Your email address will not be published.