නිවෙස් නිරෝධායනය යළි එයි

කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ දැනට නවතා ඇති කොවිඩ් නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි පවුල් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනි, පාණදුර මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ පවුල් විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ඊයේ (29) ප්‍රකාශ කළාය.

පසුගිය පැය 24 තුළදී (28 දා) පමණක් කොවිඩ් ආසාදිතයන් 131ක් හඳුනාගෙන ඇති අතර, පසුගිය දින පහේදි පමණක් අලුතින් ආසාදිතයන් 532ක් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොවිඩ් ආසාදිතයන්ගේ ශීඝ්‍ර වර්ධනයේ පැහැදිලි වැඩි වීමක් පෙන්නුම් කරන බවත් ආසාදිතයන්ගේ වාර්තා වීම ඉහළ යන විට කොවිඩ් ආසාදිත මරණ ඉහළ යෑමේ අවදානමක් පවතින බවත් වෛද්‍ය ගල්හේන මහත්මිය පැවසුවාය.

පසුගිය කාලයේදී කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම අඩු වීමත් සමඟ කොවිඩ් ආසාදිතයන්ට කරන නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය තාවකාලිකව නතර කළ බවත් නමුත් දැනට පවතින ආසාදිතයන්ගේ වැඩි වීම සැලකිල්ලට ගෙන නැවත වතාවක් නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය සක්‍රීය කිරීම අවශ්‍ය කරුණක් බවත් ඇය ප්‍රකාශ කළාය.

කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වී සිටීම සඳහා නිවෙසින් එළියට යන අවස්ථාවන්හිදී මුව ආවරණ පැලඳීම ඇතුළු කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිලිපැඳීම අනිවාර්ය බව ද ඇය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published.