විස්සට වැඩි ලක්ෂ හැටක් කොවිඩ් බූස්ටරේ අරන් නෑ

  • දෙවැනි එන්නතේ බලේ දැන් ඉවරයි
  • නිදන්ගත ලෙඩ ඇති හැටට වැඩි අය ඉක්මනින් එන්නත ගන්න
  • වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි කියයි

වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයන්ගෙන් ලක්ෂ 60ක් කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ගෙන නැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසා ඇත.

වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයන් ලක්ෂ 140ක් මෙරට සිටින බවත් ඉන් ලක්ෂ 80ක් පමණක් බූස්ටර් එන්නත් මාත්‍රාව ගෙන ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

වයස අවුරුදු 20ට වැඩි ඕනෑම පුද්ගලයකුට බූස්ටර් එන්නත ගැනීම සුදුසු බව සෞඛ්‍ය අංශ මඟින් නිර්දේශ කර ඇති බවත් පළමු බූස්ටර් මාත්‍රාව ගෙන මාස තුනක් ගත වූ පසුව දෙවැනි බූස්ටර් මාත්‍රාව ගත හැකි බවත් හෙතෙම පැවසීය.

විශේෂයෙන්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්, නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් ලබා ගැනීම වයිරසයෙන් ආරක්ෂා වීමට හේතුවක් වන්නේ යැයි ද, එවැනි පුද්ගලයන් හැකි ඉක්මණින් මේ එන්නත් මාත්‍රා ලබාගැනීමට යොමු විය යුතු යැයි ද ඔහු කීය.

කොවිඩ් මර්දන පළමු හා දෙවැනි එන්නත් මාත්‍රා ලබා ගත් පුද්ගලයන්ගේ වයිරසය සඳහා මුහුණදීමට ඇති ප්‍රතිශක්ති මට්ටම අඩු වෙමින් පවතින බවත් බූස්ටර් එන්නත් අවශ්‍ය තරම් රජයේ සෞඛ්‍ය ගබඩාවන්හි පවතින බවත් ඒ මහතා පැවසුවේය.

බූස්ටර් එන්නත් මාත්‍රා අවශ්‍ය පුද්ගලයන්ට හිඟයකින් තොරව දීම සඳහා ඇති තරම් එන්නත් තිබෙන බවත් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් හෝ රෝහලකින් එන්නත් ලබා ගත හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.