ඉන්ධන හලේ අනතුරින් දියණිය මරුට

පෙට්ටල් ලබා දෙන දිනයක් දැන ගැනීම සඳහා පණ්ඩුලගම ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකට යතුරු පැදියකින් පැමිණි මවක සහ දියණියක  ටිපර් රථයක ගැටීම  දියණිය මියගොස්  මව  තුවාල ලබා ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ඉහලවැව, ශ්‍රාවස්තිපුර ලිපිනයේ පදිංචි පී.ඩී අනෝමා රණසිංහ නැමැති 36 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය කියයි.

මව අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඇගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.

ඩීසල් ලබා ගැනීම සඳහා පැමිණ දින කිහිපයක් තිස්සේ එම ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට නතර කර තිබූ ටිපර් රථයක බැටරිය අක්‍රීය වීම හේතුවෙන්, වෙනත් ටිපර් රථයක් පැමිණ පසු පස කොටස අනෙක් ටිපර් රථයේ පසුපසට වැදීමට සලස්වා තල්ලු කිරීමේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි .

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Leave a Reply

Your email address will not be published.