ජාතික රූපවාහිනියට ‘බලෙන් ඇතුළු වූ’ ධනිෂ් අලී ගැන අධිකරණය අද ගත් තීරණය

ජාතික රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශන කටයුතුවලට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධානිෂ් අලි තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝ: 1) නියෝග කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මෙම නියෝගය නිකුත් කර ඇත.

සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය වෙත රැගෙනවිත් ඇති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ, සැකකරු බොහෝ පිරිසක් දන්නා හඳුනන කෙනෙකු බැවින් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් අවශ්‍ය නොවන බව ය. ඒ අනුව, හඳුනා ගැනීමේ පෙරට්ටුව අවලංගු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ඉල්ලීමක් සිදු කර තිබේ.

ඒ අනුව, ඊට අදාළ නියෝගය අගෝස්තු 15 වන දා ලබා දෙන බවට ත් ඒ දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ජූලි 13 වන දා බලහත්කාරයෙන් ඇතුළු වී විකාශන කටයුතු කඩාකප්පල් කිරීමට උත්සහ කළ බවට චෝදනා එල්ල වී සිටින ධානිෂ් අලි (Dhaniz Ali) ඉකුත් 26 වන දා අත්අඩංගුවට ගනු ලැබිණි.

කටුනායක ගුවන්තොටුපොළින් ඩුබායි බලා යන ගුවන් යානයකට ඇතුළු වී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published.