කෝටි 7ක කන-කර පැලඳගෙනම රටට රිංගූ 6ක් කටුනායකදී කොටු

ඩුබායි සිට මෙරටට පැමිණි කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 06 දෙනකු රත්රන් කිලෝ 03යි ග්‍රෑම් 158ක් සහ ඇපල් වර්ගයේ අයිෆෝන් 39ක් සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාවන් දෙදෙනා මේ රත්රන් තොගය ආභාරණ ලෙස සිරුරේ පැලඳගෙන සිට ඇති අතර ජංගම දුරකතන තොගය ඔවුන් ගමන් මලුවල සඟවාගෙන පැමිණ ඇත. මේ භාණ්ඩවල දැනට පවතින වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 700ක් පමණ වන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

තීරුබදු නොගෙවා රේගු පරීක්ෂාවලින්ද බේරී මොවුන් පැමිණීමේ පර්යන්තයෙන් පිටතට පැමිණෙන විටදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. යූ.එල්. 226 අංකය දරන ගුවන්යානයෙන් මොවුන් 06 දෙනා මෙරටට පැමිණ ඇති අතර, සංචාරක වීසා මඟින් ඔවුන් ඩුබායි ගොස් දින කිහිපයක් එහි රැඳී සිට මේ රත්රන් තොගය සහ දුරකතන රැගෙනවිත් ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. කාන්තාවන් දෙදෙනා මීගමුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර, සෙසු සැකකරුවන් අකුරණ පදිංචිකරුවෝය. මේ ජාවාරම මෙහෙවා ඇත්තේ ඔවුන් බව පෙනී ගොස් තිබේ. ඩුබායි බලා යෑමටත් පැමිණීමටත් ගුවන් ටිකට්පත් එරට හෝටල්වල ඉඳුම් හිටුම් සමඟ අතට රුපියල් ලක්ෂයක පමණ මුදලක් මේ එක් ගමන් වාරයකදී සැකකරුන්ට ප්‍රධාන ජාවාරම්කරු විසින් දෙන බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published.