ජනාධිපති කාර්යාලයට මුලින්ම පැන යකා නැටූ අරගලකරු රිමාන්ඩ්

ජනාධිපති ලේකම් කාර්යාලයට මුලින්ම කඩාවැදී එහි සිටි ආරක්‍ෂක අංශ ඉදිරියේ ගෙලකපාගෙන සියදිවි හානි කරගන්නා බවට තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරුණු අරගලකරු කොළඹ උතුර කොට්ඨාස අපරාධ ඒකකය මගින් ඊයේ (02 දා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සීසීටීවී දර්ශන ඔස්සේ කළ විමර්ශනවලදී මෙම සැකකරු හඳුනාගෙන ඇති අතර පසුව ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

ඉකුත් ජූලි මස 09 වැනිදා කොළඹ පැවති උද්ඝෝෂණය අවස්ථාවේ මෙම සැකකරු කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට අරගලයට සම්බන්ධවී ඇත.

පසුව මොහු තියුණු ආයුධයක් දරාගෙන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මුලින්ම ඇතුළුවී තිබිණි.

ඒ අවස්ථාවේ ආරක්‍ෂක අංශ ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කර තිබේ. එහිදී සැකකරු ආරක්‍ෂක අංශ සාමාජිකයන් කපා කොට තුවාල කිරීමට උත්සාහ කර ඇත.

එහිදී ආරක්‍ෂක අංශ සාමාජිකයන් අවි ආයුධ රැගෙන එම ස්ථානයට පැමිණි අතර සැකකරු තියුණු ආයුධයක් තම ගෙලට තබාගෙන තමන් අල්ලාගැනීමට උත්සාහ කළොත් ගෙල කපාගෙන සියදිවි හානිකරගන්නා බවට තර්ජනය කර තිබේ.

සැකකරු ඒ ආකාරයට කලහකාරී ලෙස හැසිරෙමින් සිටියදී අරගල භූමියේ සිටි දහස් ගණනක් එකවරම ජනාධිපති ලේකම් කාර්යාලය භූමියට කඩා වැදී ඇත.

කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Leave a Reply

Your email address will not be published.