’’අරගල භූමියේ අනවසර ඉදිකිරීම් 10 තෙක් ඉවත් කරන්නෑ’’

’’ගෝඨා ගෝ ගම’’ අරගල භූමියේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් නිසි අධිකරණ අවසරයකින් තොරව ලබන දහ වැනිදා තෙක් ඉවත් නොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (05) පොරොන්දු විය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන අවශ්‍ය උපදෙස් පොලිස්පතිවරයාට ලබා දෙන බවද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

ස්වෙච්ඡාවෙන් එම අරගල භූමියෙන් ඉවත් වන අරගල කරුවන්ට කිසිදු අවහිරයක් නොමැති බවද නීතිපතිවරයා අධිකරණයට ප්‍රකාශ කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් මේ බව අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා විසිනි .

නීතිපතිවරයා මෙසේ දැනුම් දුන්නේ ගෝඨා ගෝ ගම අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස කොටුව පොලීසිය නිකුත් කළ නිවේදනය ට එරෙහිව ක්‍රියාකාරී අරගලකරුවන් සිව්දෙනකු අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ දී ය .

අසංක අබේරත්න, ඉරෝශ් අපෝන්සු, වීරගහවත්තේ කාශ්‍යප හිමි සහ ලහිරු මධුෂාන් යන අරගලකරුවන් සිව්දෙනා මෙම පෙත්සම් ගොනු කරනු ලැබ ඇත .

මෙම පෙත්සම්, සෝභිත රාජකරුණා ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් මූලික විරෝධතා කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.

Leave a Reply

Your email address will not be published.