මහානාම හිමිට ඇප

අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින කොස්වත්තේ මහානාම හිමි රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (05) නියෝග කළේය.

පොලිස් මූලස්ථානය ඉදිරිපිට ඉකුත් ජූනි මස 9 දා කළ උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් මහානාම හිමියන් අත්අඩංගුවට ගෙන ඊයේ (04) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

මේ හිමිනම මෙවැනිම වැරදි සම්බන්ධයෙන් ඇප මත මුදා හරින ලද හිමිනමක බව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් පොදු දේපොළ පනත යටතේ සැකකාර හිමිනම ඉදිරිපත් කළ බවත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තම සේවාදායක හිමිනම පොදු දේපොළ පනත යටතේ ගැනෙන වරදක් කර නැති බව කියා සිටි උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.සැකකාර හිමිනම එම උද්ඝෝෂණයේදී බැරියර් පෙරළා දමමින් ඒවාට අලාභහානි කර ඇති බව කියා සිටි පොලිසිය හිමියන් ඇතුළු පිරිස පොදු දේපොළ සඳහා කළ අලාභය රුපියල් එක්ලක්ෂ හැත්තෑතුන් දහස ඉක්මවන බවද කීවේය.

බැරියර් පෙරළන ඡායාරූප ඉදිරිපත් කර තිබෙනවා. මේ වගේම තවත් දහස් ගණනක් ඉන්නවා. බන්ධනාගාර මදිවේවි යැයි කී මහේස්ත්‍රාත්වරයා සැකකාර හිමිනම ඇප මත මුදා හරින ලෙස නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර ඉදිරි දින අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published.