සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අරගල භූමියෙන් ඉවතට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව නිල වශයෙන් ගාලු මුව‍ෙදාර අරගල භූමියෙන් ඉවත්වීමට තීරණය කොට ඇත.

පොදු මහජන අරගලය ජනතා ජයග්‍රහණයකින් කෙළවර කිරීම සඳහා සමාජ මාධ්‍ය පරිශීලකයන් ලෙස රටේ අනෙක් පුරවැසියන් හා එක්වන බව එම එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව ලෙස ගාලු මුව‍ෙදාර අරගල භූමියෙන් ඉවත් වූවත් අරගලය තවදුරටත් පවතින බව ද ජනතා ඉල්ලීම් දිනන තුරු අරගලය පවත්වාගෙන යා යුතු බව ද ඔවුහු අවධාරණය කරති.

මේ දක්වා සිදු කර ගෙන ආ අයුරින් ම ඉදිරියේදී ත් කණ්ඩායමක් ලෙස පොදු මහජන අරගලයේ සමාජ මාධ්‍ය මෙහෙවර නොපිරිහෙළා ඉටුකරන බව ද එම එකමුතුව සිය නිවේදනයේ දක්වා ඇත.

එම නිවේදනයේ තවදුරටත් මෙසේ ද දැක්වේ.

“ගාලු මුව‍ෙදාර උද්ඝෝෂණ ස්ථානය මූලික කොටගනිමින් බිහිවුණු ගෝඨාගෝගමට සමගාමීව එහි ස්ථාපිත කෙරුණු මුල්ම කණ්ඩායම අතරින් එකක් ලෙස අප එකමුතුව එදා සිට මේ මොහොත දක්වා ම අරගලයේ සමාජ මාධ්‍ය භූමිකාවට වඩා ප්‍රශස්ත හා සාධනීය කාර්යභාරයක් ඉටුකළ බව අපි විශ්වාස කරමු.

විශේෂයෙන් ම රාජපක්ෂ ආණ්ඩුව සහ එහි හිතෛෂී බලවේග ලක්ෂ ගණනින් මුදල් අය කරමින් අරගලයට විරුද්ධව අරගලය දියාරු කරවන සමාජ මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපෘති දියත් කරන විට ඒ සියල්ල යටපත් කරවමින් අරගලයේ සැබෑ තතු සහ තත්ත්වයන් සමාජ මාධ්‍ය අවකාශ තුළ තහවුරු කරන්නටත් අරගලයේ නිශ්චිත තත්ත්වයන් සමාජ මාධ්‍ය තුළ සටහන් කරන්නටත් අප එකමුතුව දිවා රෑ නොබලා එකා සේ වෙහෙසී කටයුතු කිරීම සතුටට කරුණකි.

එමෙන් ම මැයි 9 වන දා ආණ්ඩුවේ කුලී මැරයන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරය ඇතුළු ඊට පෙර හා පසු අරගලයේ සුවිශේෂ සන්ධිස්ථාන සමාජ මාධ්‍ය තුළ වාර්තා කිරීමටත් ඒවා ලෝකය පුරා රැගෙන යන්නටත් අප සාමාජිකයන් සිය සමාජ මාධ්‍ය අවකාශ සහ වේදිකා භාවිත කළ ආකාරය ප්‍රශංසනීය ය.

තව ද අප සාමාජිකයන් උක්ත සියලු කාර්යභාරයන් නොපිරිහෙළා ඉටුකළේ කිසිදු මූල්‍යමය හෝ වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් නොව හුදෙක් රට වෙනුවෙන්, අරගලය වෙනුවෙන් තමන්ට පැවැරී ඇති ජාතික වගකීම සිය යුතුකමක් සේ සලකමින් බව ද සිහිපත් කළ යුතු ය. එහිදී ගෝල්ෆේස් අරගල භූමියේ මෙන්ම ඉන් පිටත ද විශේෂයෙන් විදෙස්ගතව සිටියදී පවා සිය සමාජ මාධ්‍යමය කාර්යභාරය අකුරට ඉටුකළ අප සාමාජිකයෝ බොහෝ පිරිසක් වූහ.

කෙසේ වුව ද සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව ලෙස අපි 5 වන දා සිට ගාලුමුව‍ෙදාර අරගල භූමියේ අපගේ මෙහෙයුම් නතර කිරීමට තීරණය කර ඇත්තෙමු.

එහෙත් තවදුරටත් අරගලය පවතින බව ත් ජනතා ඉල්ලීම් දිනන තුරු අරගලය පවත්වාගෙන යා යුතු බව ත් අපි තරයේ විශ්වාස කරමු.

Leave a Reply

Your email address will not be published.