සර්වපාක්ෂික අරගලකරුවෝ හා ජනපති අතර සාකච්ඡාවක්

අරගලකරුවන් නිදහස් කරන්නැයි සර්වපාක්ෂික අරගලකරුවෝ ජනපතිට කියති

ගෝඨාගෝගම ඇතුළු සාමකාමී පොදුජන අරගලයට සම්බන්ධ අරගලකරුවන් සහ ක්‍රියාකාරිකයන් අනීතිකව හා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමේ හා රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන මර්දන ක්‍රියාවලිය නතර කරන ලෙසට ඊයේ (05) දින සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා සහ අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මේ බව සඳහන් කෙරිණි.

එමෙන්ම සාමකාමී පොදුජන අරගලයට සම්බන්ධ බව කියමින් හිතුමතයට විවිධ හේතු දක්වමින් සිදු කරන මර්දනය නවතා පොදුවේ අරගලකරුවන් ඇතුළු අරගලයට දායක වූ සියලු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නවතාලන ලෙසද මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනු ලැබිණි.

තවද අලුතින් නිර්මාණය කෙරෙන අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවේ සීමිත කැබිනට් මණ්ඩලයේ තනතුරු සඳහා ඊට ගැළපෙන සහ ප්‍රාමාණික සුදුසුකම්ලත් මහජන නියෝජිතයන් පමණක් පත් කිරීම සහ ජනතා අප්‍රසාදයට සහ ප්‍රතික්ෂේපවීම්වලට ලක් වූ කිසිදු මහජන නියෝජිතයෙකුට එවැනි කිසිදු තනතුරක් ලබානොදීම යන කරුණු මෙන්ම රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම වෙනුවට අතිරේක ලේඛම්වරු පත් කොට ඔවුන් අමාත්‍යාංශ ලේඛම්ගේ යටතට පත් කිරීම යන යෝජනාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයට යොමු කෙරිණි.

මීට අමතරව සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය 2022 මැයි මාසයේදී අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එළිදක්වන ලද ‘විසි වැදෑරුම් යෝජනාවලිය’ ජනාධිපතිවරයා වෙත භාරදීමද මෙහිදී සිදු කෙරිණි.

මේ අවස්ථාවට අමාත්‍ය මනුෂ නානායක්කාර, ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක යන මහත්වරුද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published.