පොල්දූව අධි ආරක්ෂක කලාපයට රිංගූ දෙකක් අල්ලයි

පාර්ලිමේන්තු සංකීර්ණය අසල පොල්දූව අධි ආරක්ෂක කලාප ජල තීරයට ඇතුළුවී සිටි සැකකටයුතු පුද්ගලයෝ දෙදෙනෙක් දියවන්නා ඔයේ ආරක්ෂක කටයුතුවල යෙදී සිටි නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබූහ.

ඔරු දෙකක් සහ තවත් උපකරණ කිහිපයක්ද සමග අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලීසියට බාරදුන් බව නාවික හමුදාව පවසයි.

දෙදෙනා මෙම ස්ථානයට පැමිණියේ කුමන අරමුණක් වෙනුවෙන් දැයි සැකයක් මතුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.

විවිධ අරගල කරුවන් පාර්ලිමේන්තුවට ඇතුළු වීමට පසුගිය කාලයේදී විවිධ උත්සාහ දැරීම නිසා පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන දැඩි කරනු ලැබීය.

පාර්ලිමේන්තුව වටා ඇති දියවන්නා ඔයේ නාවික හමුදා ආරක්ෂාවද මේ අනුව වැඩි කෙරුණු අතර මෙම සැකකටයුතු දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූවේද ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණ කටයුත්තක යෙදී සිටි නාවික නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

Leave a Reply

Your email address will not be published.