ඉතිහාසයේ පළමුවරට එක් දිනක් ඇතුළත බංග්ලාදේශයේ පෙට්‍රල් මිල 52%කින් ඉහළට

බංග්ලාදේශ රජය දිනක් ඇතුළත පෙට්‍රල් මිල 52%කින් ඉහළ නැංවීම හේතුවෙන් එරට ජනතාව ප්‍රධාන නගර රැසක වීදි පුරා උද්ඝෝෂණයක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ නැංවීමේ නිවේදනය නිකුත් කිරීමෙන් පසු ඉන්ධන පිරවුම්හල් අසළ ජනතාව එක්රොක්වීම නිසා දැඩි කළබලකාරී වාතාවරණයක් මතුවූ බවත්, අනපේක්ෂිත මිල ඉහළ නැංවීමට එරෙහිව වීදි බට ජනතාව පොලිසිය සමග ගැටුම් ඇතිකරගත් බවත් වැඩිදුරටත් වාර්තා වේ. පෙට්‍රල් මිලට අමතරව ඩීසල් මිල ද 42% කින් ඉහළ ගොස් ඇත.

විදුලිය පිරිමසා ගැනීම සඳහා දැනටමත් දෛනිකව පැය 13ක විදුලි කප්පාදුවකට මුහුණ පා සිටින බංග්ලාදේශය ජනතාව තෙල් අර්බුදයෙන් දැඩි ලෙස කෝපයට පත්ව විරෝධතාවක නිරතව සිටියදී පොලිසිය කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් තත්ත්වය දරුණු අතට හැරී ඇතැයිද, විරෝධතාකරුවන් පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇතැයි ද වාර්තා වේ. එරට මුදලින් ටකා 89ට තිබූ පෙට්‍රල් ලීටරය ටකා 135 දක්වා ඉහළ දමා ඇති අතර, ටකා 85ට තිබූ ඩීසල් මිල ටකා 146 දක්වා ඉහළ දැමීම නිසා ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇත. ඉන්ධන මිල ඉහළ දැමීම නිසා බස් ගාස්තු 40%කින් ඉහළ දැමීමට එරට බස් හිමියන් පියවර ගෙන ඇතැයිද වැඩි දුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.