ජාතික ක්‍රීඩා සභාව අලුත් වෙයි – නව සභාපති අර්ජුන

ක්‍රීඩාවේ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් සැපයීම සඳහා වන ජාතික ක්‍රීඩා සභාව අද (10) අලුතින් පත්වෙයි. නව ක්‍රීඩා සභාවේ සභාපතිධුරයට හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පත් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ටොරින්ටන් ක්‍රීඩාංගණය අසලදී නව ක්‍රීඩා සභාවේ පත්වීම් ලිපි ප්‍රදානය සිදු කිරීමට නියමිත අතර, එහිදී නව සභාපතිවරයා ලෙස අර්ජුන රණතුංග මහතා සමග සාමාජිකයන් 14 දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු අමාත්‍යවරයකු ද වන අර්ජුන රණතුංග මහතා මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ තනතුරකට පත්වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

නව ක්‍රීඩා සභාවේ සාමාජිකයන් ලෙස ත්‍රිවිධ හමුදාපතිවරුන් වන යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහත්වරු ද ඇතුළත් වන බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. මීට අමතරව මෙරට බිහි වූ විශිෂ්ට මලල ක්‍රීඩිකාවන් වන සුසන්තිකා ජයසිංහ සහ ශ්‍රියානි කුලවංශ මහත්මීන් ඇතුළු ප්‍රවීණ වෘත්තිකයන් රැසක් සිටින බව වාර්තා වේ.‍

මීට පෙර ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා කටයුතු කළ අතර, හිටපු ක්‍රිකට් නායකයකු වන කුමාර් සංගක්කාර, ජුලියන් බෝලිං, ඩිලන්ත මාලගමුව මහත්වරු ඇතුළු ප්‍රකට පුද්ගලයන් රැසක් කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කළහ.

Leave a Reply

Your email address will not be published.