තෙල් පෝලිමේ රියට‍ අහසින් වැටුණු මාරයා – රියැදුරු නූලෙන් බේරයි

කොළඹ පුරහලේ පිහිටි ඉන්ධ පිරවුම්හලක පෝලිමේ නවතා තිබුණු මෝටර් රථයක් මතට ඒ ආසන්නයේ ඉදි කරමින් ඇති ගොඩනැඟිල්ලක ඉහළ මහලේ සිට ගැල්වනයිස් බටයක් ඊයේ (09) වැටී තිබේ. එම බටය අඩි 60ත් – 70ත් පමණ ඉහළක සිට උස අතට පහළට වැටී ඇති අතර මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව ද සිදුරු කරගෙන සුක්කානම ළඟටය. එම අනතුර වන විට රියැදුරු මෝටර් රථයේ සිට ඇති අතර ගැල්වනයිස් බටය වීදුරුව සිදුරු කරගෙන ගමන් කර ඇත්තේ ඔහුගේ දෙපා මැදිනි. බටය වැටීමේදී පොඩි වෙනසක් සිදු වූයේ නම් රියැදුරුගේ ජීවිතයට හානියක් වීමට ඉඩ තිබුණු බව එම අනතුර ඇසින් දුටුවෝ පවසති.

ගාල්ලේ කිතුලම්පිටියේ පදිංචිකරුවකු වන මෝටර් රථයේ හිමිකරු මෙසේ පැවසීය.

“මම වාහනේ ඇතුළේ හාන්සි වෙලා හිටියේ. එකපාරටම වැටුණා. කකුල් දෙක මැද්දෙන්. මොනව උනාද කියල මට දැනුනේ නැහැ.“

මේ අනතුර සම්බන්ධයෙන් එම රියැදුරු කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ද කර තිබේ. ඒ අනුව කළ විමර්ශනවලින් පෙනීගොස් ඇත්තේ ඉහළ මහලේ සේවය කරමින් සිටි සේවකයකු අතින් අත්වැරදීමකින් එම ගැල්වනයිස් බටය බිම වැටී ඇති බවය. මේ ගොඩනැඟිල්ල මෙරට ප්‍රසිද්ධ ඇඳුම් සමාගමක ප්‍රදර්ශනාගාරයක් සඳහා ඉදි කරමින් පවතින්නකි. ඉදි කිරීම් සමාගම විදේශීය සමාගමකි. පොලිසිය පවසන්නේ ඉදි කිරීම් සමාගමේ සේවකයාගේ අත්වැරදීමක් හේතුවෙන් මේ අනතුර සිදු වී ඇති බවය. ඒ බව ඉදි කිරීම් සමාගමේ බලධාරීන් ද පිළිගෙන මෝටර් රථයට සිදු වූ හානියට වන්දියක් දීමට කැමැත්ත පළ කර ඇති බව ද පොලිසිය කියයි.

වන්දියක් දෙන්නේ නම් ඉදිරි විමර්ශනයක් අනවශ්‍ය බවට මෝටර් රථයේ හිමිකරු එකඟතාවකට පැමිණි බව ද පොලිසිය සඳහන් කරයි. නැවතත් මෙවැනි අනතුරු සිදු නොවීමට වගබලා ගන්නා ලෙසට පොලිසිය සමාගමේ බලධාරීන්ට උපදෙස් දී තිබේ. පොලිසිය පවසන්නේ මේ ගොඩනැඟිල්ල වටා ආරක්ෂක දැල් ආවරණ ද යොදා ආරක්ෂාව තහවුරු කර ඇති බවය. ගැල්වනයිස් බටය එම සේවකයා එහා මෙහා කරන්නට ගොස් පාලනයෙන් ගිලිහී ගොස් වැටී ඇති බව පෙනීගිය බව ද පොලිසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.