හමුදාව යුතුකම ඉටු කළා පාර්ලිමේන්තුවේ 225ත් යුතුකම ඉටු කළ යුතුයි – ජනපති

පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම වෙනුවෙන් යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කළාසේම රටේ අනාගතය වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනා ද සිය වගකීම ඉටු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ත්‍රස්තවාදය තුරන් කළා සේම පාර්ලිමේන්තුව ආරක්ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම උදෙසා ශ්‍රී ලංකා යුද හමුදාව ගත් පියවර ප්‍රශංසණීය බව පෙන්වාදෙන ඒ මහතා පාර්ලිමේන්තුව ආරක්ෂා කොට පාර්ලිමේන්තුව රැස්වීමට අවස්ථාව සලසා දීමෙන් හමුදාව ව්‍යවස්ථානුකූල යුතුකම ඉටු කර තිබෙන අතර එමඟින් රට ආරක්ෂා කර තිබෙන බව ද දැන් තිබෙන්නේ පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන යෑම බව ද පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල, අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයකට එක්වෙමිනි. යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ ආරාධනයකට අනුව යුද හමුදා මූලස්ථානය වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හමුදා උත්තමාචරයක් ද පිරිනැමිණි.

පසුගියදා (13) පාර්ලිමේන්තුව වට කිරීමට උත්සාහ ගත් ප්‍රචණ්ඩකාරීන්ගෙන් පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට පියවර ගත් ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් වෙත ජනාධිපතිවරයාගේ ගෞරවය පිරිනැමීම වෙනුවෙන් ජනාධිපති ප්‍රණාම සහතික ප්‍රදානය ද මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම වෙනුවෙන් යුද හමුදාපතිවරයා අතින් සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

අගමැති දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published.