ඇමැති ජොන්ස්ටන් ඇතුළු තිදෙනකුට අධිචෝදනා

සතොස සේවකයන් රාජකාරිවලින් බැහැර කර පෞද්ගලික සේවයේ යෙදවූයේ යැයි අල්ලස් චෝදනා ලැබ සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට අධිචෝදනා භාරදීම කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (09) දින සිදු කෙරිණි.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එක් විත්තිකරුවකුට රුපියල් 50,000 බැගින් මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළේය.

ඇප කොන්දේසි ප්‍රකාරව සෑම මසකම අවසන් ඉරිදා පෙරවරු 9-ත් 12ත් අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන ඒකකයට වාර්තා කරන ලෙසට ද අධිකරණය විත්තකරුවන්ට දන්වා සිටියේ ය.

සතොස ආයතනයේ සේවකයන් 2010 වසරේ සිට වසර පහක් සිය පෞද්ගලික සේවයේ යොදා ගනිමින් සතොස ආයතනයෙන් වැටුප් ගෙවා ඇතැයි සඳහන් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් නඩු 05ක් පසුගිය මැයි මාසයේ පැවරූ අතර ඉන් එක් නඩුවක් සඳහා මෙසේ අධිචෝදනා බාර දෙමින් ඇප නියම කළේය.

සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් සාකීර් එම නඩුවේ ඇප නියම වූ සෙසු විත්තිකරුවන්ය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනාට එරෙහිව මීට ඉහත දී කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් නඩුවක් ගොනුකර තිබූ අතර නඩුවේ පැවැති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසම කටයුතු කළේය. ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන් නිදහස් කළේය.

Leave a Reply

Your email address will not be published.