කොටහේනේ කෝටි දෙකේ කොල්ලය මෙහෙ‍යවා ඇත්තේ කතුන් දෙදෙනෙක්

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොටහේන බෙනඩික් මාවතේ පිහිටි ටයිල් සහ කරවල අලෙවි ව්‍යාපාරිකයකුගේ නිවෙසට පෙරේදා (08) දහවල් කඩා වැදී කළ රුපියල් කෝටි දෙකක කොල්ලය කාන්තාවන් දෙදෙනකුගේ සැලසුමකට අනුව සිදුවූ බවක් හෙළිකරගත් කොටහේන පොලිසිය එම කාන්තාවන් දෙදෙනාව සහ පොලිස් වෙසින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා ද සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

පොලිස් වෙසින් සිටි කොල්ලකරුවන් දෙදෙනා අයියා මලෝ දෙදෙනෙකි.

ව්‍යාපාරිකයාගේ බිරියගේ මිතුරන් බව කියන කාන්තාවන් දෙදෙනා මිතුරියගේ සැමියාට මුදල් යහමින් ඇතැයි දැන මෙම කොල්ලය සැලසුම් කර ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. එම සැකකාරියන් දෙදෙනා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ මිතුරියගේ සැමියා උණ්ඩියල් ක්‍රමයට මුදල් හුවමාරුවේ නිරතව සිටින තැනැත්තෙක් බවය. පොලිස් වෙසින් මෙම කොල්ලය සිදු කළේ ඒ නිසා බවත් එය කොල්ලය සිදු කිරීමට පහසුවක් වූ බවත් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකාරියන් පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා රාත්‍රී සමාජ ශාලාවලට නිතර යන එන මත්පැන් සහ දුම්වැටි භාවිතයට පුරුදු වී සිටින සෙල්ලක්කාර තැනැත්තියන් දෙදෙනෙක් බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

එම සෙල්ලක්කාර ජීවිතයට මුදල් සොයා ගැනීමට මේ කොල්ලය ඔවුන් විසින් සැලසුම්කර ඇති බවද පෙනී ගොස් තිබේ.

මේ කාන්තාවන් දෙදෙනා කඳාන නාගොඩ සහ පේරලන්දේ පදිංචිකාරියන්ය. පොලිස් වෙසින් කොල්ලයට පැමිණි සහෝදරයන් දෙදෙනා අතරින් වැඩිමල් සහෝදරයාගේ බිරිය ඉංග්‍රීසි ගුරුවරියකි. කොල්ලය සැලසුම් කළ කාන්තාවකගේ දරුවකුගේ ඉංග්‍රීසි ගුරුවරිය වන්නේ ඇයයි. ඒ ඔස්සේ ගුරුවරියගේ සැමියා සමඟ මෙම කාන්තාව ඉතා කිට්ටු හිතවත්කමක් ගොඩනඟාගෙන සිට ඇති බවත් එම හිතවත්කම හේතුවෙන් මෙම කොල්ලයට ඔහුව සම්බන්ධ කරගෙන ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

වැඩිමල් සහෝදරයා කඳානේ පදිංචිකරුවෙක් වන අතර බාල සහෝදරයා ග්‍රෑන්ඩ්පාස් මහවත්තේ පදිංචිකරුවෙකි. ඔවුන් දෙදෙනා බ්‍රෝකර් වැඩ කරමින් ජීවත්වන්නන් බවත් බාල සහෝදරයා කලක් වාහන කුලියට දීමේ ව්‍යාපාරයක් කරගෙන ගිය අයෙක් බවත් පොලීසිය සඳහන් කළේය.

බාල සහෝදරයා මෙම කොල්ලයට පෙර දින කොටහේනේ ව්‍යාපාරිකයාගේ නිවස පිහිටි ප්‍රදේශයට පැමිණ ආරක්ෂාව ගැන සැලකිලිමත්ව ජංගම දුරකතනයකින් ව්‍යාපාරිකයාගේ නිවසේ ඡායාරූපයක්ද ගෙන ඇති බවත් එම තොරතුරු වැඩිමල් සහෝදරයා සමඟ හුවමාරු කර ගැනීමෙන් අනතුරුව මෙම කොල්ලය සැලසුම් කර ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මෙසේ කිසිදු බියක් නැතිව මෙම කොල්ලය ඔවුන් මේ ආකාරයට සැලසුම්කර ඇත්තේ මෙම ව්‍යාපාරිකයා කොල්ලය ගැන පොලිසියට පැමිණිලි නොකර සිටීයැයි සිතාගෙනය. ඒ ඔහු උණ්ඩියල් ජාවාරමක නිරතව සිටින බව කාන්තාවන් දෙදෙනා පවසා තිබීම නිසාය. එහෙත් පොලිසිය පවසන්නේ එම ව්‍යාපාරිකයා එවැනි මුදල් ජාවාරමක් කරන බවක් මෙතෙක් කළ විමර්ශනවලින් අනාවරණය වී නැති බවය. මෙම ව්‍යාපාරිකයාගේ බිරියට මෙම කාන්තාවන් දෙදෙනා සම්බන්ධ වන ආකාරය සහ ඇයට මෙම කොල්ලය ගැන යමක් දැන සිටියේ දැයි සොයා ඉදිරි විමර්ශන පැවැත්වෙමින් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.