සර්ව පාක්‍ෂික අරගලකරුවන්ගෙන් 22 ට කරුණු 7 ක යෝජනාවලියක් අධිකරණ ඇමැතිට භාරදෙයි

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා සහ සර්ව පාක්‍ෂික අරගලකරුවෝ සංවිධානයේ නියෝජිතයන් අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී ඊයේ (09 දා) පැවැති අතර එහිදී 22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඔවුන් විසින් යෝජනා කරනු ලබන කරුණු 7 කින් යුත් යෝජනාවලියක් අමාත්‍යවරයා වෙත භාරදීම සිදු විය.

ජනාධිපති සමාව ලබාදීම, රටේ සංවර්ධනය හෝ අභිවෘද්ධිය සඳහා වන යෝජනා සහ පනත් කෙටුම්පත් සෘජුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අයිතිය ජනතාව වෙත ද ලබාදීම, ජනතා ඡන්දයෙන් තේරී පත්වන ජනතා නියෝජිතයන් පක්‍ෂ මාරු කිරීම වළක්වාලීමට අවශ්‍ය ව්‍යවස්ථාමය නීති ප්‍රතිපාදන සම්පාදනය වීම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නිසි මූල්‍ය තත්ත්වයක් හා සක්‍රිය ක්‍රියාකාරීත්වයක් හිමිකර දීම, විගණන අධිකරණයක් පිහිටුවීම, ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම හා ව්‍යවස්ථාව අනුව රාජ්‍යයේ මූල්‍ය බලය පාර්ලිමේන්තුව සතු පරම වගකීමක් වීම යන කරුණු සර්ව පාක්‍ෂික අරගලකරුවන් විසින් අධිකරණ අමාත්‍යවරයා වෙත භාරදුන් යෝජනාවලියට අයත් වේ.

වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව සර්ව පාක්‍ෂික අරගලකරුවන් සහ අධිකරණ අමාත්‍යවරයා අතර සුහද සාකච්ඡාවක් පැවැති අතර එහිදී අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කළේ අරගලය තුළින් ලබාගත් ජයග්‍රහණය නිසි පරිදි ජනතාව වෙත ලබාදීම සිදු කළ යුතු වන්නේ ව්‍යවස්ථානුකූලව බවයි.

22 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ගෙන එනු ලබන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ හා දේශපාලන සථාවරත්වය ඇතිකරලීම සඳහා වත්මන් රජය මේ වනවිට ගෙන ඇති පියවර සම්බන්ධව අධිකරණ අමාත්‍යවරයා විසින් සර්ව පාක්‍ෂික අරගලකරුවෝ සංවිධානයේ නියෝජිතයන් දැනුවත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published.