බස් හිමියන්ගෙන් ගමනා ගමන කොමිසමේ නිලධාරීන්ට මරණ තර්ජන

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව බස් හිමියන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නිලධාරීන්ට මරණ තර්ජනය කළේ යැයි එම නිලධාරීන් විසින් නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. මේ සාකච්ඡාව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී පෙරේදා (09) පවත්වා ඇති අතර, සාකච්ඡාවලින් අනතුරුව කාර්යාල පරිශ්‍රයේදී බස් හිමියන් කලහකාරි ලෙස හැසිරී නිලධාරීන්ට තර්ජනය කර ඇත. බස් හිමියන් කාර්යාලයේ සෙසු නිලධාරීන්ට දුරකතන මාර්ගයෙන් අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඔවුන් ඝාතනය කරන බවට ද තර්ජනය කර ඇත. ඒ අනුව කොමිෂන් සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිසියට පැමිණිලි කර තිබේ. මේ පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බස් හිමියන් හට නීතිමය කටයුතු කරන මෙන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතාට උපදෙස් දී තිබේ.

මේ සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියෙන් දිනමිණ කළ විමසීමකදී පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් එවැනි පැමිණිල්ලක් ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published.