ගිනි අවියක් සමග හිටපු එස් අයි මාට්ටු

අල්ලේ සඟවාගෙන යා හැකි කුඩා පිස්තෝලයක්, උල් පිහියක් සහ ජීව උණ්ඩ සමඟ හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු මහරගම පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.

සැකකරු සමඟ එම ගිනි අවියට යෙදිය හැකි ජීව උණ්ඩ 2 ක්, මිලිමිටර් 9 වර්ගයේ  උණ්ඩ තුනක් ,ව්‍යාජව සකස් කරන ලද ජාතික හැඳුනුම්පතක් හා යතුරු පැදියක් ද පොලිසිය භාරයට ගෙන ඇත

මේ දිනවල රට තුළ විවිධ ප්‍රදේශයන්ගෙන් වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුවීම් වාර්තා විම සැලකිල්ලට ගෙන මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ විශේෂ මාර්ග බාධක යොදා සැකකටයුතු වාහන පරික්ෂා කරමින් සිටී අවස්ථාවේදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලීසිය පැවසීය.

මෙම පිස්තෝලය අඟල් 5″ක් පමණ දිගින් යුක්ත වන බවත් රිවෝල්වර ගිනි අවියකට සමාන එකක් බවත් පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා (61) වැනි වියේ පසුවන බවත් 1987 වසරේදී උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් පොලිස් සේවයට බැඳී 1990 වර්ෂයේදී අසනීප හේතු මත පොලිස් සේවයෙන් ඉවත්වූ අයකු බවත් සිදුකළ විමර්ශනයේදී වැඩිදුරටත් අනාවරණයවූ බවද පොලීසිය පැවසීය.

සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ තමාගේ ආරක්ෂාව සඳහා මෙම රිවෝල්වරය සහ කිණිස්ස තබා ගත් බවත් වසර කිහිපයකට පෙර මාතර ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මෙය මිලදී ගත් බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළ බවද පොලිස් ආරංචි මාර්ග පැවසීය.

මෙම ගිනි අවිය කුමන රටක නිෂ්පාදනය කළ එකක්ද යන වග මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවත් එය සොයා ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු සිදුකරන සිදුකරන බවත් පොලිසිය පවසයි.

මෙම පිස්තෝලය භාවිතා කර යම් අපරාධයක් සිදුකර ඇත්ත යන වග සෙවීම සඳහා ද පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.