පාස්කු වින්දිතයන්ට පාප් වහන්සේගෙන් යූරෝ ලක්ෂයක්

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට ආධාර වශයෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යූරෝ ලක්ෂයක (රුපියල් කෝටි හතරක පමණ) මුදලක් ලබා දී ඇති බව කොළඹ අගරදගුරු පදවිය පවසයි.

පාප් වහන්සේ මෙම මුදල මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමන් වෙත ප්‍රදානය කර ඇති බවත්, එම ආධාර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට බෙදාදීම කොළඹ අගරදගුරුතුමන්ගේ සහ ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (13) සහ අනිද්දා (14) දිනවල සිදුකෙරෙන බවත් ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.

කාදිනල්තුමන් ඉකුත් පෙබරවාරි මාසයේ වතිකානයේ කළ සංචාරය අතරතුරදී පාප් වහන්සේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් රැකබලා ගන්නා වැඩපිළිවෙල සම්බන්ධයෙන් විමසා බලා ඇති අතර, එම වැඩපිළිවෙල ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම ආධාර මුදල ලබාදී ඇතැයි ද පියතුමෝ සඳහන් කළහ.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී මිය ගිය අය වෙනුවෙන් හා ඉන් තුවාල ලබා සදාකාලික ආබාධිත තත්වයට පත්වූවන් වෙනුවෙන් මෙම ආධාර ලබාදීමේදී වැඩි අවධානයක් යොමු කරන බව ද ජූඩ් ක්‍රිසන්ත පියතුමෝ පැවසූහ. 


Leave a Reply

Your email address will not be published.