රට කුණු බක්කියට වැටුණු හේතුව ගැන වජිර කියයි

එක්සත් ජාතික පක්ෂය 2020 වසරේ දී ගමින් ගමට බෙදූ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාව එදා කුණු බක්කියට නොදැම්මා නම් අද රට මෙලෙස කුණු බක්කියට වැටෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

එදා ගමින් ගමට බෙදූ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය නැවත සිහි බුද්ධියෙන් කියවා බලන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව කී වජිර අබෙිවර්ධන මහතා ජනතාව එදා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය සිහි බුද්ධියෙන් කියවා තේරුම් ගෙන තීරණයක් ගත්තා නම් අද රට ආසියාවේ ඉහළ තැනක වැජඹෙනු ඇතැයි කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමකළ හැකි ‍වෙනත් නායකයෙක් ලෝකයේ ම නැතැයි ද එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා පැවසීය.

සියලු පාර්ශවයන් එකතු කරගනිමින් ජනපති ගෙනයන වැඩපිළිවෙලට සහයෝගය ලබාදුන්නොත් රට නියත වශයෙන්ම ගොඩගත හැකි බව ද අබෙිවර්ධන සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියු දේවල් එකින් එක ඉටු කරගෙන යන බවත් ඒ නිසා ජනාධිපතිතුමා කෙරෙහි තබා ඇති විශ්වාසය හැම තත්ත්පරයකම වැඩි වෙමින් පවතින බවත් එජාප සභාපතිවරයා සඳහන් කළේය.

අද රනිල් වික්‍රමසිංහ යනු ජාතික වස්තුවක් වී ඇතැයි ද ලංකාව ආසියාවේ ඉහළ තැනක ඔසවා තැබීම සඳහා ඒ ජාතික වස්තුව ප්‍රයෝජනට ගත යුතු බවද අබෙිවර්ධන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published.