කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් ලද රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවකට මිද්දෙණියේ මල්ශාලා හිමිකරුට වෙඩි තබා ඝාතනය කළ යුදහමුදාවෙන් පලාවිත් සිටින සෙබළෙක් වෙඩි තැබීමට යොදාගත් ටී 56 අවියද සමඟ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පෙරේදා (13) අත්අඩංගුවට ගෙන තිබේ.
විතාරන්දෙණියේ පදිංචිකරුවෙක් වන එම සෙබළාව අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ සැඟවී සිටියදීය.
ප්‍රභාත් මංජු නමැති මෙම මල්ශාලා හිමිකරුට වෙඩි තබා ඝාතනය කරනුයේ ඉකුත් ජූනි 26 වැනිදාය. ඇඹිලිපිටිය පාරේ පිහිටි මල් ශාලාවට ඔහු එදින උදෑසන පැමිණ එය විවෘත කිරීමට සූදානම් වූ අවස්ථාවේදී වැගන් ආර් රථයකින් පැමිණ ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් දීර්ඝ විමර්ශනයකින් අනතුරුව වැගන් ආර් රථය හඳුනා ගනු ලැබීය. එම රථයේ අංක තහඩුවේ කොටසකට ස්ටිකරයක් අලවා අංක තහඩුව නොපෙනන ලෙස තිබී ඇත. ඒ ගැන විශේෂ අවධානයක් යොමුකරමින් පොලිස් විමර්ශකයන් කාණ්ඩ අංක ඔස්සේ විමර්ශන පවත්වා රථය හඳුනාගෙන තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ එම රථය බෙලිඅත්තෙන් කුලියට ගත්තක් බවය. ඒ ඔස්සේ කළ දිර්ඝ විමර්ශනයකදී හෙළි වන්නේ එම රථය කුලියට ගෙන ඇත්තේ විතාරන්දෙණියේ පදිංචිකරුවෙකු බවය. එම පුද්ගලයා හමුදාවෙන් පළාවිත් සිටි අයෙක් බවත් ඔහු සැඟවී සිටින බවත් පොලීසියට පෙනී ගොස් ඇත. පෙරේදා අත්අඩංගුවට ගන්නේ ඔහුවය. ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවන්නේ වෙඩික්කරු මෙම පුද්ගලයා බවය. දීර්ඝ ලෙස කෙරුණු ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද සඟවා තිබුණු ස්ථානය ගැන පොලීසියට කරුණු හෙළිකර තිබේ. ඒ අනුව පොාලීසිය එම අවියද ඔහු සමඟ ගොස් සඟවා තිබුණු තැනින් සිය භාරයට ගෙන ඇත.
මල් ශාලා හිමිකරු ඝාතනය කරනුයේ මල් ශාලා හිමිකරුගේ අසල්වැසි කෝටිපති ව්‍යාපාරිකයෙක් විසින් දුන් කොන්ත්‍රාත්තුවකට අනුව බව හෙළිවන්නේ එහිදීය. ගම්මිරිස් ඇතුළු ඇට වර්ග මිලදී ගෙන තොග වශයෙන් අලෙවි කිරීමේ නිරතව සිටින මෙම ව්‍යාපාරිකයා මිද්දෙණියේ ජනතාව අතර ප්‍රසිද්ධව සිටින්නේ ඇට සුද්දා ලෙසිනි. මෙම ව්‍යාපාරිකයා මල්ශාලා හිමිකරුගේ ඝාතනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක් තමාට දීමට පොරොන්දු වූ බව පවසා තිබේ. අත්තිකාරමක් ලෙස රුපියල් ලක්ෂ 1ක් දී ඇත. ගිනි අවියක් නොමැති බව පැවසීමෙන් පසු ටී 56 ලබාදී ඇත්තේ ද ව්‍යාපාරිකයා විසින් බව ඔහු පවසයා තිබේ. මෝටර් රථය කුළියට ගෙන අත්තේ එම අත්තිකාරම් මුදලිනි. ඊට අමතරව ඔහු එම රථය පැදවීමට සහයට විතාරන්දෙණියේ පදිංචි සිය මිතුරකුගේද සහාය ගෙන තිබේ. ඔහුට ද මුදලින් කොටසක් දී ඇත. ඉතිරි මුදල්වලින් කොටසක් වියදම්කර ඇති අතර දැනට ඉතිරිව ඔහු සතුව තිබුණු රුපියල් ලක්ෂ 04කට ආසන්න මුදලක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ. මේ වන විට ව්‍යාපාරිකයාත් වෙඩික්කරුගේ සහයකයාත් පළාගොස් සැඟව සිටින බව පොලීසිය කියයි. ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.
කෝටිපති ව්‍යාපාරිකයා විසින් මල් ශාලා හිමිකරුව මරා දැමීමට කොන්ත්‍රාත්තුව දී ඇත්තේ මාස කිහිපයකට පෙර සිය දියණිය පෙම්වතා සමඟ පළායාමේ සිද්ධියක් මුල්කරගෙනය. එසේ ඔහුගේ දියණිය පලාගොස් ඇත්තේ මල් ශාලා හිමිකරුගේ නිවසට නිතර ආගිය මල්ශාලා හිමිකරුගේ පුතාගේ මිතුරකු සමඟිනි. දියණිය හා එම තරුණයා අතර පෙම් සම්බන්ධයක් ඇතිවී තිබෙන්නේද එම නිවසට එම තරුණයා පැමිණීමට පටන් ගැනීමත් සමඟින් බව සඳහන්ය. එම සිදුවීම මුල්කරගෙන ආරවුලක්ද දෙදෙනා අතර තිබී ඇතැයිද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
වෙඩික්කරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුද පවසා ඇත්තේ මල් ශාලා හිමිකරු සමඟ තමාටද ගැටලුවක් තිබූ බවය. ඒ තමාගෙන් ගත් ගංජා තොගයකට ඔහු මුදල් නොගෙවූ බවය. ඔහු ඒ කියන්නේ ඇත්තක්දැයි මෙතෙක් තහවුරු වී නැත. එය තහවුරුකර ගැනීමට මල් ශාලා හිමිකරු නොමැති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමල් එදිරිමාන්ත මහතාගේ මෙහෙයැවීමෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.