අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සහල්, පරිප්පු ඇතුළු ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල පහළ ගොස් ඇති බව පිටකොටුව තොග වෙළෙඳුන් පවසනවා.
කෙසේවෙතත් දේශීයව නිෂ්පාදනය කරන සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් පවතින්නේ ඉහළ අගයකයි.
පසුගිය මාසයේ අග භාගයේ සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල ගණන් ක්‍රමයෙන් පහළ යන අයුරු දැක ගත හැකි වුණා.
අල, පරිප්පු, සීනි, මිරිස්, ළූණු ආදී ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල ගණන් අද (15) දිනයේත් පහළ අගයක පවතින බව පිටකොටුව තොග වෙළෙඳුන් පවසනවා.
ඒ අනුව ආනයනික පරිප්පු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 430ත් 450ත් අතර අගයක පවතිනවා.
පොන්නි සම්බා, සුදු කැකුළු, රතු කැකුළු ආදී ආනයනික සහල්වල තොග මිල දැක්වෙන්නේ රුපියල් 170 සිට 190ත් අතර පරාසයකයි.
පිටකොටුවතොග වෙළෙඳසැල් ආශ්‍රිතව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක තොග මිල සටහන් වී ඇත්තේ රුපියල් 160ත් රුපියල් 165ත් අගයකයි.
ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 140ත් 150ත් අතර අගයක පවතින අතර ආනයනික වියළි මිරිස් කිලෝග්‍රෑමයක තොග මිල පවතින්නේ රුපියල් 1350ත් 1500ත් අතර අගයකයි.
කෙසේවෙතත් පිටකොටුව සිල්ලර වෙළෙඳ සංකීර්ණයේ අල, ළූණු සහ එළවළුවල සිල්ලර මිල ගණන් ඉහළ අගයක පවතිනවා.
ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන අපහසුතා නිසා භාණ්ඩ මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ.
බිත්තර මිල ගණන් ද පසුගිය සතියට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පහල ගොස් තිබුණ ද එම වාසිය පාරිභෝගිකයින්ට හිමි නොවන බව සඳහන් කරමින් ආපාණ ශාලා හිමියන්ගේ සංගමය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිල්ලක් සිදු කළා.

Leave a Reply

Your email address will not be published.