ගාල්ලේ දේවගැතියාට පිහිට වූ පොලිස් කපුවන් සොයා විමර්ශන

දේවගැතිවරයා ළමයින් 20කට වැඩියෙන් අපයෝජනය කරලා

බාල වයස්කාර පිරිමි දරුවන් ලිංගික කටයුතු සඳහා යොදාගත් කීර්ති කුමාර බටගොඩ නමැති දේවගැතිවරයාගෙන් මුදල් හා උපකාර ගනිමින් ඔහුට ආරක්ෂාවක් දුන්නේ යැයි කියන පොලිස් නිලධාරීන් හඳුනා ගෙන ඒ අයට එරෙහිව පියවර ගැනීමට පොලිස්පතිවරයාගේ අනුමැතිය ඇතිව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රොහණ මහතා විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම දේවගැතිවරයා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිර්නාමික පැමිණිල්ල ලැබීමට පෙර ගාල්ලේ පිහිටි පොලිස් ස්ථානයකට මේ ගැන පැමිණිල්ලක් ලැබී තිබී ඇති බවද සඳහන්ය. එම පැමිණිල්ල නිසි පරිදි විභාග කර නැති බවද මේ වන විට අනාවරණය වෙමින් ඇත. දරුවකුට මොහු විසින් කළ අපචාර ක්‍රියාවක් හෙළි වූ විට එම දරුවාට මුදල් දී පැමිණිල්ලක් පොලිස්පොත්වල පවා සටහන් නොකර ගොඩින් විසඳීමක් කෙරහිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට ලක්ව ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම දේවගැතිවරයාගෙන් මුදල් හා උපකාර ගෙන ඇත්තේ එම පැමිණිල්ල ගොඩින් විසඳීමට මුල් වූ නිලධාරියා බව ගාල්ලේ පොලිස් නිලධාරීන් අතර ප්‍රසිද්ධ රහසක් බවට මේ වන විට පත්ව තිබේ. දේවගැතිවරයා එම නිලධාරියාගේ පරිහරණයට සුඛෝපභෝගී වාහනයක් පවා දී තිබී ඇති අතර දේවගැතිවරයා සහ ඔහු අතර සමීප හිතවත්කමක් ගොඩනැගී ඇත්තේ එම නිලධාරියා ගාල්ලේ පිහිටි පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධූරයක් දරමින් සිටියදීය.

මේ වන විට එම නිලධාරියා දකුණු පළාතේ සේවයේ නිරතව සිටියි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දේවගැතිවරයාව අත්අඩංගුවට ගැනීමෙන් පසු මාධ්‍යවල ඒ ගැන තොරතුරු වාර්තා වීම වැළැකීමටත් දේවගැතිවරයාව පොලිස් සිරමැදිරියේ නොතබා බංකුවක් මත තැබීමටත් දැඩි උත්සහයක් ගෙන ඇතැයි පැවසෙන්නේ එම නිලධාරියාය. ඒ එම දේවගැතිවරයා අධිකරණයට ඉදිරිපත්කරන තෙක් රඳවා සිටි හික්කඩුව පොලිස් ස්ථානයේ විවිධ නිලධාරීන්ට ඇමතුම් දෙමින් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

හබරාදූව පොලීසියෙන් මෙම දේවාලයට පොලීසියේ නිලධාරීන් දෙදෙනා බැගින් ආරක්ෂාවක්ද දී තිබෙන බව අනාවරණය වී තිබේ. සිකුරාදා දිනයන්වල එම ආරක්ෂාව දෙන බවත් එසේ දෙන්නේ එදින විශාල පිරිසක් එහි රැස්වන නිසා බවත් ඉහළ නිලධාරීන් කළ විමසීම්වලදී හබරාදූව පොලීසියේ වත්මන් ස්ථානාධිපතිවරයා එම නිලධාරීන්ට සඳහන්කර තිබේ. එසේ තමා පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ආරක්ෂාවක් දීමට පියවර ගත්තේ තමාට පෙර එහි ස්ථානාධිපතිධූරය දැරූ නිලධාරියා දේවාලයට ආරක්ෂාවක් දී තිබුණු බැවින් එය දිගටම ක්‍රියාත්මක කරමින් බවද වත්මන් ස්ථානාධිපතිවරයා පවසා ඇත. වත්මන් ස්ථානාධිපතිවරයා හබරාදූව පොලිස් ස්ථානාධිපතිධූරයට පත්ව වැඩි කාලයක් නොමැති වත් හිටපු ස්ථානාධිපතිවරයා සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීමක් ලබා දකුණේම සේවයේ නිරතව සිටින බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙම දේවාලයේ සිකුරාදා දින ආරක්ෂාවට යෙදවෙන නිලධාරීන්ට රුපියල් 5,000 බැගින් මුදලක්ද දේවගැතිවරයාගෙන් ලැබෙන බව ගාල්ලේ පොලිස් නිලධාරීන් අතර කථාබහක් පවතී. ඒ ගැනද විමර්ශනයක් කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.

පොලීසියට මුදල් ගෙවීමකින් නීත්‍යනුකූලව ආරක්ෂාවන් ගැනීමේ ක්‍රමවේද පවතින බවත් ඊට පිටින් ආරක්ෂාවක් එම දේවාලයට හේතුවක් නොමැතිව දී තිබේනම් ඊට සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බවත් අජිත් රෝහණ මහතා කීය.

එසේම මෙම දේවගැතිවරයාට ගිනි අවියක් තබා ගැනීමට නිර්දේශ ඉදිරිපත් කිරීම් සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුකරමින් විමර්ශන පැවැත්වෙනු ඇත. ගිනි අවි බලපත්‍රයක් නිකුත් කිරීමට පෙර ආරක්ෂක වාර්තාවක් ගනු ලබන්නේ ඔහු පදිංචි පොලිස් වසමේ ස්ථානාධිපතිවරයාගෙනි.

මේ අතර ගාල්ල උණවටුනේ මැටරඹ ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් බාල වයස්කාර පාසල් සිසුන්ව සිය පහත් ලිංගික ආශාවන් ඉටු කරගැනීමට යොදාගෙන ඒවා වීඩියෝගත කර පිටරට වෙබ් අඩවිවලට අලෙවි කළායැයි චෝදනා ලැබ සිටින කීර්ති කුමාර බටගොඩ නමැති දේවගැතිවරයා විසින් මෙසේ බාලවයස්කරුවන් 20කට වැඩි පිරිසක් ඒ සඳහා සඳහා යොදාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක කරයි.

එම දරුවන් හඳුනා ගැනීමට සැකකාර දේවගැතිවරයාගේ ජංගම දුරකතනය ඇතුළු පරිගණක උපාංග වෝහාරික විමර්ශනයකට මේ වන විට ලක් වෙමින් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

මෙම දේවගැතිවරයා මෙසේ බාලවයස්කාර පිරිමි දරුවන් සිය පහත් ලිංගික ආශාවන් ඉටු කර ගැනීමට බිලිගෙන ඇත්තේ මාස 08ක පමණ කාලයක් තිස්සේ බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. දැනට හඳුනාගෙන ඇති සිසුන් 09 දෙනාගෙන් ඒ ගැන කෙරුණු ප්‍රශ්න කිරීම් හා විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එම දරුවන්ව සතියකට දෙතුන්වරක් වත් මේ කාලය තුළ මෙම පුද්ගලයා විසින් සිය පහත් ආශාවන් වෙනුවෙන් යොදාගෙන ඇති බව යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙසේ ඔහු බාල වයස්කාර පිරිමි දරුවන් සමඟ අසම්මත ලිංගික කටයුත්තක නිරතවන බව මෑතකදී ඔහුගේ බිරියට හසුවී තිබෙන බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ. ඒ මෙම දේවගැතිවරයා බිරිය සමඟ සිටි අවස්ථාවකදී ඔහුගේ ජංගම දුරතනයට දරුවකු විසින් එවූ වට්ස්ඇප් පණිවිඩයක් දැකීමෙනි. ඒ ගැන ඇය පසුව සොයාා බැලීමේදී කරුණු දැන ගෙන ඇති බවත් ඇයට අමතරව මෙම කටයුත්ත ගැන දැන සිට ඇත්තේ ඔහුගේ ආරක්ෂාවට සිටින පුද්ගලික ආරක්ෂකයකු පමණක් බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ඉතා සූක්ෂමව සහ සැලසුම් සහගතව ඔහු මෙම දරුවන් සිය පහත් ආශාවන් ඉටුකර ගැනීමට යොදාගෙන ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. දරුවන් වෙනුවෙන් විශාල මුදලක් ඔහු වියදම් කර ඇති බවද අනාවරණය වෙමින් තිබේ. දැනට හඳුනාගෙන සිටින දරුවන් 09 දෙනාගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර වීඩියෝ සාක්ෂි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මෙහෙයැවීම මත ලබා ගැනීමට පියවර ගෙන ඇත.

එසේම මෙම දේවගැතිවරයාට එරෙහිව ශක්තිමත් විද්‍යාත්මක මෙන්ම පර්යේෂණාත්මක සාක්ෂි ගොන්නක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැස්කර ඇත. මෙම සැකකරුව කොටු කර ගැනීමේ මෙහයුම සති දෙකක් තිස්සේ ක්‍රියාත්මක වී ඇති අතර සිවිල් වැසියන් සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම දේවලයේ ඒ කාලය තුළ නිතර කැරකී ඇති බව සඳහන්ය. මෙම දේවගැතිවරයාව අත්අඩංගුවට ගත් දින රාත්‍රී කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් දේවගැතිවරයාගේ අනුගාමිකයන් සේ දේවාලය ඇතුළත සිට ඇති බවත් තවත් පිරිසක් දේවලය කිට්ටුව පිහිටි උණවටුන වැල්ලේ දේවාලයේ වාර්ෂික උත්සව භූමියේ රැඳී සිට ඇති බවත් සඳහන්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම දේවගැතිවරයා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකර ඇත්තේ ගාල්ල අධිකරණයට රහසිගතව කරුණු වාර්තා කිරීමකින් අනතුරුවය.

පොලිස් තොරතුරු සඳහන් කරනුයේ මෙම දේවගැතිවරයා බලපත්‍ර සහිත ගිනි අවියක්ද සන්තකයේ තබාගෙන සිටි බවය.

Leave a Reply

Your email address will not be published.