ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කර ඩොලර් ගේන්න පුළුවන් – මනෝ

විදෙස්ගත ශ්‍රී ලාංකික ඩයස්පෝරාව හමුවී සාකච්ඡා කර ශ්‍රී ලංකාවට ඩොලර් රැගෙන ඒමට තමන් සුදානම් බව සමගිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රට තුළ තහනම් කර තිබු ජාත්‍යාන්තර දෙමළ සංවිධාන 06ක් සහ පුද්ගලයින් පිරිසකගේ තහනම ඉවත් කිරීමට රජය ගත් පියවර සුබදායක බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා,

“මේවා ඉවත්වීම හරහා ලෝකෙට ලංකාව ගැන හොඳ පණිවුඩයක් ලබාදීලා තිබෙනවා. ඒ පණිවුඩය සුබවාදී පණිවිඩයක් කියලා මම කියනවා. මේ පණිවුඩය අරන් ගිහින් උතුරු අමෙරිකාවට, යුරෝපයට, ඔස්ට්‍රේලියාවට මම ගිහිල්ලා ලංකාව වෙනුවෙන් කතා කරන්න ලෑස්තියි. මට ඒක පුළුවන්.  මම දමිළ ශ්‍රී ලංකිකයෙක්, නමුත් උතුරු – නැගෙනහිර නෙවෙයි. සිංහල ජනතාව එක්ක ඉන්න කොළඹ මන්ත්‍රී. මම දෙමළ, මුස්ලිම්, සිංහල සියල්ල දන්නවා. මේ ආණ්ඩුවේ මට ඇමතිකම් එපා මම ඒකට සුදානම් නෑ. නමුත් රට වෙනුවෙන් වැඩ කරන්න ලෑස්තියි මම.  ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්, සලකා බලන්න මේ ඩයස්පෝරා ආයතන කවුරුත් දැන් වෙනම රටක් ඉල්ලන්නේ නැහැ. මට වගකීම භාරගන්න පුළුවන්. මට පුළුවන් මේ ආයතනයට කතා කරලා වෙනසක් ගේන්න. හැබැයි යනකොට මට හිස් අතින් යන්න බෑ. ආණ්ඩුවෙන් මට ඕනේ සැලැස්මක්.”

මෙරට තුළ තහනම් සංවිධාන ලෙස ආසාදු ලේඛනගතකර තිබූ ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන 6කට සහ පුද්ගලයින් 316 දෙනකුට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා කටයුතු කර තිබුණි.

මෙම තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් වාර්තා කරමින් පී.ටී.අයි. ඉන්දීය ප්‍රවෘත්ති සේවය පවසන්නේ අදාළ තහනම් ඉවත් කිරීමට ලක්රජය පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදෙන අසාමාන්‍ය ආර්ථික අර්බුදයට දිර්ඝ කාලීන විසඳුම් සෙවීමේ අරමුණින් බවය.

එවැනි වටපිටාවක් තුළ දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සමඟ යළි එක්ව කටයුතු කිරීමෙන් මෙරටට විදේශ විනිමය ආකර්ශනය කරගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවත්, එමගින් විදේශ සංචිත ඉහළ නැංවීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

මේ අතර තහනම ඉවත් කරනු ලැබු සංවිධානයක් වන ග්ලෝබල් ටැමිල් ෆෝරම් හෙවත් ගෝලීය දෙමළ සංසදයේ සභාපති මහාචාර්ය එස්.ජේ. එම්මානුවෙල් පියතුමන් ලක් රජය ගනු ගැබූ පියවර කෙරෙහි ප්‍රසාදය පල කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ පනවා තිබු තහනම ව්‍යාජ බිය සහ සැකය යන චෝදනා මත පදනම්ව ක්‍රියාත්මක වුවක් බැවින් එය ඉවත් කිරීම සතුටින් පිළිගන්නා බවය.

එම්මානුවෙල් පියතුමන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ එක්ව රට ගොඩනැගීමට සියලු ශ්‍රී ලාංකිකයන් එක්වන ලෙසය.

එමෙන්ම එස්.ජේ. එම්මානුවෙල් පියතුමන් සිංහල භාෂාවෙන්ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ වාර්ගික සහ ආගමික වෙනස්කම් පිළිබඳ ශ්‍රී ලාංකිකයන්ගේ ආකල්පීය වෙනස්වීමක් සිදුවිය යුතු බවය.

මේ අතර ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන 6කට සහ පුද්ගලයින් 316 දෙනකුගේ තහනම ඉවත් කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පැවසුවේ තහනම ඉවත් කිරීමට හේතුව කුමක්දැයි රජය ජනතාවට ඉදිරිපත් කළ යුතු බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

“නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී සංවිධාන වශයෙන් අධිකරණ තීන්දු අරගෙන තිබුණ නිසයි ඒ සංවිධාන තහනමට යොමු වුණේ. එහෙනම් ඒ තහනම ඉවත් කරන්න අධිකරණ තීන්දුවක් ආවද? ඒ එක්කම පෙර පැවති නීති විරෝධී තත්ත්වය වෙනස් වුණාද ? ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධානවල තහනම ඉවත් කරන්න හේතුව කුමක්ද? ඒ පිළිබඳව පූර්ණ විස්තරයක් රජය සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවට ඉදිරිපත් කළ යුතුයි. ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන ඒමට ගන්නා උත්සාහයේ එක පියවරක් වෙන්න ඕනේ මේක.”

Leave a Reply

Your email address will not be published.