සල්මාන් රුෂ්ඩිට අමෙරිකාවේදී කළ පිහි ඇනුමකින් ඇසක් අහිමි වෙයි

තත්පර 20ක් තුළ පිහි පහර15ක්

අමෙරිකාවේ නිව්යෝක් නුවර දේශනයක් පවත්වමින් සිටියදී පිහි ඇනුමකට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි බ්‍රිතාන්‍ය-අමෙරිකා නවකතාකරු ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩි පැය විසිහතරකට පසු කථා කළ හැකි මට්ටමක සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ වන විට ඔහුට සවි කර තිබූ ‘ශ්වසනාධාරකය (වෙන්ටිලේටරය) ඉවත් කර ඇති අතර, දකුණු ඇසට සහ ගෙල පෙදෙසට දරුණු තුවාල සිදු වීම නිසා සැත්කම් කිහිපයකට ලක් කිරීමට සිදු වී ඇතැයි ද වාර්තා වේ. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඔහුගේ දකුණු ඇස ඉවත් කිරීමට සිදු වනු ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ. පිහි ඇනුමට ඔහුගේ අක්මාවට ද දැඩි හානි සිදු වී ඇති අතර, එක් අතක ස්නායූ ඉතා දරුණු ලෙස කැපී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. 

සල්මාන් රුෂ්ඩිට පිහියෙන් ඇන්න 24 හැවිරිදි තරුණයකු වන අතර, ඔහු හාදි මතාර් නමැති, ලෙබනන් සම්භවයක් සහිත අමෙරිකා මුස්ලිම් ජාතිකයකු බවට හඳුනා ගෙන තිබේ. ඔහු වේදිකාවට පැන තත්පර 20ක් ඇතුළත සල්මාන් රුෂ්ඩිට පිහි පහර 15ක් පමණ එල්ල කළ බව සිද්ධිය ඇසින් දුටුවන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. එම දේශනයට සහභාගි වෙමින් සිටි පිරිස ඒ මොහොතේදීම සැකකරු අල්ලා පොලිසියට භාර දී තිබූ අතර, පසුව කළ විමර්ශනවලදී ඔහු ඉරාන හිතවාදියකු බවට පොලිසියට කරුණු වාර්තා වී ඇත.

1988 වසරේදී ඔහු විසින් ලියන ලද ‘සැටනික් වර්සස්‘ නවකතාවෙන් ඉස්ලාම් දහමට අපහාස වූ බවට චෝදනා කරමින් එවකට ඉරානයේ හිටපු නායක අයතුල්ලා කුමේනි ඔහුට මරණ දඬුවම පනවා තිබූ අතර, පසුගිය දශක තුනක කාලයේ දැඩි ආරක්ෂක රැකවල් මැද ජීවත් වූ 75 හැවිදිරි මේ සම්මානලාභී ලේඛකයා පසුගිය මාස කිහිපයේදී තරමක් නිදහස් ජීවන රටාවක් ගෙවමින් සිටි බවද වාර්තා වේ.

ඉරානයෙන් මරණ දඬුවම නියම වීමෙන් පසු වසර 33ක්ම ආරක්ෂාකාරී ජීවිතයක් ගත කළ සල්මාන් රුෂ්ඩි පසුගියදා ප්‍රකාශ කර ඇත්තේ තම ජීවිතයට තිබූ අවදානම පහව ගොස් ඇති බවය. ඔහු සිය ආරක්ෂක නිලධාරීන් ඉවත් කර ඇත්තේ පිහි ප්‍රහාරයට ලක් වීමට සති කිහිපයකට පෙරය. සල්මාන් රුෂ්ඩිට එල්ල වූ පිහි ප්‍රහාරය රටවල් රැසක් හෙළා දැක තිබුණත්, පාකිස්තානයේ අන්තවාදී සංවිධාන ඇතුළු තවත් මුස්ලිම් රටවල් කිහිපයක ඉස්ලාම් මූලධර්මවාදීන් එම ප්‍රහාරය අනුමත කර තිබිණි. වරක් සල්මාන් රුෂ්ඩිට සහාය පළ කරමින් ප්‍රකාශයක් නිකුත් කළ ‘හැරී පොටර්‘ රචිකාවිය ජේකේ. රෝලින්ස්ටද පාකිස්තාන ආගමික මූලධර්මවාදීන් මරණ තර්ජන එල්ල කර තිබිණි.

Leave a Reply

Your email address will not be published.