ජනපති මැඳුරේ දේපොළ වැනසූ 32ක් සොයා මෙහෙයුම්

ජනාධිපති මන්දිරයට කඩාවැදී එහි දේපොළවලට හානි කිරීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අරගලකරුවන් තිස් දෙදෙනකු ඊයේ (15) වන විට නම් ගම් සහිතව හෙළි කර ගෙන තිබේ.

එම තිස් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශන පැවැත්වෙන බවත් ඔවුන් සිය පදිංචි ස්ථාන වෙනස් කරමින් සැඟවී සිටින බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඔවුන් අතර අරගලයේ නායකයන්ද සිටින බව එම නිලධාරියා කීය.

ජනාධිපති මන්දිරයට කඩා වැදුණු පිරිස් හඳුනා ගැනීම සඳහා කෙරෙන විමර්ශනවලින් 150කට වැඩි පිරිසක් මේ වන විට ඡායාරූප සහ වීඩියෝ දර්ශනවලින් හඳුනා ගෙන ගොනුගත කර ඇත. මේ තිස් දෙදෙනා නම් ගම් සහිතව මේ වන විට හඳුනාගෙන ඇත්තේ ඒ අය අතරිනි.

එසේ වීඩියෝ සහ ඡායාරූප මගින් හඳුනාගත් එහෙත් නම් ගම් සහිතව මෙතෙක් හඳුනා නොගත් හැත්තෑ දෙදෙනකුගේ ඡායාරූප පොලිස් මූලස්ථානය අවස්ථා දෙකකදී මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය. ඒ ඡායාරූප 32ක් සහ ඡායාරූප 40ක් වශයෙනි.

එම ඡායාරූපවලට යහපත් ප්‍රතිචාර ජනතාවගෙන් ලැබෙන බවත් ජනාධිපති මන්දිරයේ ජනාධිපතිවරයා විසින් මැති ඇමැතිවරු සහ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන වට මේසයේ රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙක්ව ජනතාවගේ තොරතුරු මත අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලීසිය කියයි.

මහජන සහාය අපේක්ෂාවෙන් මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කළ ඡායාරූපවල සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලැබෙන බවත් ඒ ඔස්සේද පුද්ගලයන් හඳුනා ගැනීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

ජනාධිපති මන්දිරයට නීති විරෝධීව කඩාවැදීම් සහ එහි දේපොළවලට හානි කිරීම් සම්බන්ධයෙන් ඊයේ වන විට පුද්ගලයන් විසි දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අතර මන්දිරයේ භාණ්ඩ සොරාගැනීම්වලට සම්බන්ධ කිහිප දෙනෙක්ද සිටි බව පොලීසිය සඳහන් කළේය.

ඉදිරියේදී තවත් ඡායාරූප රැසක් හඳුනා ගැනීමට මහජන සහාය පතා නිකුත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.