හතර වැනි මාත්‍රාෙවන් පසුව කොවිඩ් හැදුණත් සංකුලතා අඩුයි

කොවිඩ් මර්දන එන්නතේ 4වැනි මාත්‍රාව ගෙන තිබියදීත් යම් පුද්ගලයකුට වයිරසය ආසාදනය විය හැකි නමුත් සංකූලතා ඇති වීම අවම වන බව ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඊයේ (15) ප්‍රකාශ කළේය.

කොවිඩ් මර්දන එන්නත් ගැනීමෙන් සංකූලතා අඩු වනවා මිස සංකූලතාවන්හි කිසිදු වැඩි වීමක් සිදු නොවන බව ද මේ නිසා ජීවිත හානි වීම වැළැකෙන බව ද හෙතෙම කීවේය.

එන්නත් ගෙන ඇත්නම් වයිරසය ආසාදනය වීම ගැන කිසිදු බියක් නොවිය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් මර්දන පළමු හා දෙවැනි මාත්‍රාවන් ගෙන වර්ධක හෙවත් බූස්ටර් මාත්‍රාවන් නොගත් පුද්ගලයන්ට වයිරසය ආසාදනය වුවහොත් ඔවුන්ගෙන් සංකූලතා දැකිය හැකි යැයි ද හෙතෙම පැවසීය.

කොවිඩ් මර්දන පළමු හා දෙවැනි එන්නත් ගෙන මේ වන විට වසරක් පමණ ගත වන අතර එම එන්නත්හි ප්‍රතිශක්තිය මේ වන විට හීන වී ගොස් ඇතැයි ද ඔහු පැවසුවේය.

මෙරට ජනගහනයෙන් 8,064,094ක් කොවිඩ් මර්දන පළමු බූස්ටර් මාත්‍රාව සහ 99,392ක් කොවිඩ් මර්දන දෙවැනි බූස්ටර් මාත්‍රාව මේ වන විට ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මෙරට ජනගහනයෙන් 14,561,721ක් කොවිඩ් මර්දන දෙවැනි එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති අතර 6,497,627ක් කොවිඩ් මර්දන බූස්ටර් පළමු එන්නත් මාත්‍රාව මෙතෙක් ගෙන නොමැති බව ද වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කරයි.

මේ දිනයන්හි වැඩිවශයෙන් කොවිඩ් වයිරසය නැවත වරක් ව්‍යාප්ත වීම සිදු වනුයේ පුද්ගලයන් ගත් එන්නත් මාත්‍රාවන්හි ප්‍රතිශක්තිය හීන වී ගොස් ඇති නිසා විය හැකි බවත් නැවත කොවිඩ් මර්දන ප්‍රතිශක්තිය ගැනීම සඳහා එන්නත් ගැනීමට ජනතාව යොමු වීම වැදගත් බවත් වෛද්‍ය ගිනිගේ මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.