ස්කොට් ජාතික කාන්තාවගේ පෙත්සම විසිවේ ලංකාවෙන් පිටුවහල් කෙරේ

අරගලයට සහභාගී වීම හේතුවෙන් තමන්ව මෙරටින් පිටුවහල් කිරිමට ආගමන විගමන පාලකවරයා ගත් තීරණය බලරහිත කරන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ස්කොට්ලන්ත ජාතික කෙළි ප්‍රේසර් මෙනෙවිය ගොනුකර තිබූ රිට් පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමීමට අභියාචනාධිකරණය ඊයේ (16) තීරණය කළේය.ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම සහ එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය එලෙස තීරණය කළේය. මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සෝහිත රාජකරුණා මහතා ඉදිරියේ ඊයේ (16) සලකා බැලිණ.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මගින් ඉකුත් (12) වැනි දා ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසකි. ලබන 2023 මාර්තු 3 වැනිදා තෙක් තමන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටිය හැකි ලෙසට වලංගු වීසා අනුමත කර ඇති බවත් එසේ තිබියදී ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලකවරයා තමන් මෙරටින් පිටුවහල් කිරීම සදහා තීරණය කර ඇතැයි පෙත්සම්කාරිය සිය පෙත්සමේ සඳහන් කර තිබිණ. තමන් ඉකුත් මැයි මස 8 වැනිදා ගෝඨා ගෝ ගම නැරඹීමට ගිය බවත්, පසුව මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ පොලීසියේ නිලධාරින් පැමිණ තම විදෙස් ගමන් බලපත්‍රය ඔවුන් භාරයට ගත් බවත් පැමිණිලිකාරිය සඳහන් කර තිබේ.

පසුව ආගමන විගමන ප්‍රධාන කාර්යාලයට තමා රැගෙන ගිය නිලධාරීන් තමගෙන් ප්‍රශ්න කළ බව ද පැමිණිලිකාරිය සිය පැමිණිල්ලේ සදහන් කර ඇත. ඒ අනුව තමන්ව මෙරටින් පිටුවහල් කිරීමේ නියෝගය අවලංගු කර තමන්ට මේ රටේ රැඳී  සිටීමට අවසර ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට පැමිණිලිකාරිය සිය පැමිණිලෙන් ඉල්ලා තිබේ. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ හන්සනී ගජදීර මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.

Leave a Reply

Your email address will not be published.