හරක්කටා පිටුවහල් කළොත් ඉතිරි අපරාධකාරයන් ඩුබායිවලින් පනින සූදානමක්

ඩුබායි අත්අඩංගුවේ සිටින හරක් කටා නමැති පාතාල අපරාධකරු පිටුවහල් කරමින් මෙරට පොලිසියට භාර දීමක් කළහොත් ඩුබායිහි මේ වන විට රැඳී සිටින පාතාල අපරාධකරුවෝ රැසක් වෙනත් රටවල් වෙත පලා යෑමට සූදානම් වෙමින් ඇතැයි බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

ඒ එම අපරාධකරුවන්ට ඩුබායි රාජ්‍ය තුළ තවදුරටත් ආරක්ෂාවක් නැති බව ඒ අය අතර මේ වන විට මතයක් ගොඩනැඟෙමින් ඇති බැවිනි.

ඩුබායිහි පසුගිය කාලයේ රැඳී සිටි අපරාධකරුවන් රැසක්ම මේ වන විට වෙනත් රටවල සිය අඹුදරුවන් සමඟ ජීවත් වන බව ද බුද්ධි අංශ සඳහන් කරයි. එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය වැනි රටවල වැඩි දෙනෙක් රැඳී සිටින බවත් හරක් කටා ද ප්‍රංශයේ රැකවරණය ගෙන එහි පදිංචි වීමට සූදානමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබෙන බවත් අනාවරණය වෙමින් තිබේ.

හරක් කටාට ඉතා කිට්ටුවන්තයෙක් ලෙස කටයුතු කරන සළිඳු හරක් කටා නිදහස් කර ගැනීමට උපරිමයෙන් වෙහෙසක නිරත වන බව ද එරටින් ලැබෙන තොරතුරුවල සඳහන්ය. සළිඳු ද ඩුබායි අතහැර වෙනත් රටකට යෑමට සූදානමින් සිටින බව එම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය. ඊට අමතරව කොස්ගොඩ සුජීගේ නම ද ඩුබායි අතහැර යෑමට සූදානම් වෙමින් ඇති අපරාධකරුවන් ලැයිස්තුවේ ඉහළින්ම තිබේ.

ඩුබායිහි රැඳී සිටින මෙරටට අවශ්‍ය ප්‍රධාන පෙළේ පාතාල අපරාධකරුවන්ගේත් මත්කුඩු ජාවාරම්කරුවන්ගේත් ලැයිස්තුවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතී. ඒ අය විවිධ පුද්ගලයන්ගේ නම්වලින් පෙනී සිටිමින් ඩුබායිහි රැඳී සිටියි. එසේ ඔවුන් එරට රැඳී සිටින ව්‍යාජ නම් ගම් සහිත විදෙස් ගමන් බලපත්‍රවල තොරතුරු මේ වන විට බුද්ධි අංශ විසින් රැස් කරමින් සිටින අතර එම තොරතුරු ඩුබායි ආරක්ෂක අංශ වෙත යොමු කර ඉදිරි පියවර ගැනීමට නියමිතය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා කටයුතු කරමින් සිටි වකවානුවේදී අවස්ථා කිහිපයකදීම එක්සත් එමීර් රාජ්‍යයෙහි සංචාරයක නිරත වෙමින් එක්සත් එමීර් රාජ්‍යයට අයත් ඩුබායි ඇතුළු රටවල රැඳී සිටින ශ්‍රී ලංකාවට අවශ්‍ය අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට මූලික සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්විණි.

මෑතකදී අබුඩාබිහිදී අත්අඩංගුවට ගත් කොළඹ ඇතුළු ප්‍රධාන නගර ආශ්‍රිතව බෝම්බ පිපිරවීම් රැසකට සම්බන්ධ එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශයේ ප්‍රබලයෙක් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

Leave a Reply

Your email address will not be published.