කටුනායක රන් මාවත විවෘත වෙයි

කටුනායක ගුවන් තොටුපොළ නව සේවා පර්යන්තය වන “රන් මාවත” ( Gold Route) අද (18) විවෘත කෙරුණි.

ඒ, වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සඳහා “රන් මාවත” විවෘත වී තිබේ.

ඒ අනුව ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන්ට ගුවන් තොටුපොළ රාජකාරී සිදු කරගැනීම සඳහා පෝලිම්වල නොසිට මෙම නව පර්යන්තය වෙත පිවිස ආගමන විගමන, රේගු කටයුතු මෙන්ම ආහාරපාන සහ සන්නිවේදන අවශ්‍යතා ද ඉතා කඩිනමින් ඉටු කරගත හැකිය.

මෙයට සමාන ප්‍රභූ පර්යන්තයක් කටුනායක ගුවන් තොටුපොළ තුළ ඇති අතර, මෙම සේවාවන් නොමිලේ රාජ්‍ය නිලධාරීන්ට සහ දේශපාලනඥයන් වෙත හිමිවී තිබේ.

මීට අමතරව කටුනායක ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා මෙම පහසුකම් ලබාගත හැකි ” සේද මාවත ” ( Silk Route) නමින් තවත්  පර්යන්තයක් පවතී.

ඒ සඳහා එක් ගුවන් මගියෙකුගෙන් අමෙරිකානු ඩොලර් 50ක මුදලක් ගුවන් තොටුපොළ විසින් අය කරගනු ලැබේ.

මෙම නව පර්යන්තය සඳහා එක් ගුවන් මගියෙකුගෙන් අමෙරිකානු ඩොලර් 200 ක මුදලක් අය කරගනු ලබන අතර , www.airport.lk වෙබ් අඩවියට පිවිස එම මුදල ගෙවා මෙම පහසුකම් වෙන්කරවා ගත හැකිය.

මෙම නව පර්යන්තය විවෘත කිරීම තුළින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාගැනීම මෙන්ම කටුනායක ගුවන් තොටුපොළ තුළ ගුණාත්මකභාවය ද ඉහළ නංවා ගැනීම අපේක්ෂා කරයි.
 

Leave a Reply

Your email address will not be published.