කාබනික පොහොර මිල දී ගැනීමට රු. කෝටි 1600ක සහනාධාරයක්

2022/23 මහ කන්නයේ  වී වගා කිරීමේ දී  සියයට 70ක් රසායනික පොහොර ද, සියයට 30ක් කාබනික පොහොර ද වශයෙන් යොදා ගැනීම  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා හා කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට නිර්දේශ කර තිබේ.

එළඹෙන මහ කන්නයේ දී වී වගාව රසායනික පොහොර හා කාබනික පොහොර මිශ්‍රව යොදා ගනිමින් සිදු කිරීමට යෝජිතය.

ඒ අනුව ලබන මහ කන්නයේ දීත් වී ගොවීන්ට කිලෝග්‍රෑම් 50කින් යුත් පොහොර මිටියක් රුපියල් 10,000 බැගින් වූ මිලකට ලබා දීමටත්, හෙක්ටෙයාර් එකකට යුරියා පොහොර කිලෝග්‍රෑම් 125ක් බැගින් ලබා දීමටත් කටයුතු කරන බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

එමෙන්ම වී වගාවේ දී සියයට 30ක් පරිසර හිතකාමී පොහොර භාවිතයට අවස්ථාව ලබා දෙන අතර කාබනික පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ජනතාවට රුපියල් 20,000ක් බැගින්  සහනාධාරයක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම සහනාධාරය ලබා දීම සදහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 1600කි.

ශ්‍රී ලංකාවේ දැනට පරිසර හිතකාමී පොහොර නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන් සියලු දෙනා ඊයේ (17) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයට කැඳවූ අමාත්‍යවරයා ඔවුන් මුහුණ දී සිටින ගැටළු හා ඉදිරි මහ කන්නයේ දී සියයට 30ක් වන කාබනික පොහොර අවශ්‍යතාවය සම්පූර්ණ කළ හැකි ද ? යන්න සම්බන්ධව ඔවුන්ගෙන් කරුණු විමසනු ලැබීය.

පසුගිය මහ කන්නයේ දී කාබනික පොහොර යැයි කියමින් ගොවීන්ට ලබා දී තිබෙන ඇතැම් පොහොර ගුණාත්මකභාවයෙන් හා තත්ත්වයෙන් ඉතාමත් බාල යැයි තමන් ද විශ්වාස කරන බව කී අමාත්‍යවරයා එම අත්තනෝමතික  පියවර හේතුවෙන් කාබනික  පොහොර නිෂ්පාදන කර්මාන්තය කඩා වැටීමේ තර්ජනයකට ලක්ව තිබේ. මෙම සහනාධාරය පවා රජය ලබා දීමට තීරණය කර තිබෙන්නේ එම කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහාය.

එමනිසා මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර ගොවි ජනතාවට ලබා දෙන්නේ නම් ඒවායේ ගුණාත්මක භාවය හා ප්‍රමිතිය සම්බන්ධව සහතික කිරීමකින් තොරව භාවිතා කිරීම සඳහා අනුමැතිය ලබා නොදෙන බව ද සඳහන් කළේය. එමෙන්ම ඇතැම් ගොවි ජනතාව ද තමන්ට අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගන්නේ නම් ඒවායෙහි ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩ පිළිවෙළක් සකසා ඇති බවත් සඳහන් කළේය.

දැනට වෙළෙදපොලේ යුරියා පොහොර මිටියක් රුපියල් 42000ක් වැනි ඉහළ මුදලකට අලෙවි වේ. එහෙත් රජය විසින්  යුරියා පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලකට ලබා දෙනු ලබයි. එමනිසා යුරියා පොහොර භාවිතා කරන ගොවීන්ට වෙනත් සහනාධාරයක් ලබා නොදෙන අතර කාබනික පොහොර මිල දී ගැනීම උදෙසා  ගොවීන්ට රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

මෙම සහනාධාරය සඳහා රුපියල් කෝටි 1600ක් රජය විසින් වැය කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ නිලධාරින් මෙන්ම දිවයි‌නේ සියලුම කාබනික පොහොර නිෂ්පාදන කර්මාන්තකරුවෝ ද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published.