කට්ටිපනින කෙලී සොයන්න බුද්ධි මෙහෙයුමක්

ගාලුමුවදොර රැඳී සිටිමින් අරගලකරුවන්ට පක්ෂව ව්‍යාජ තොරතුරු සමාජගත කළේ යැයි චෝදනා ලැබ සිටි කෙලී ෆ්‍රාසර් නමැති ස්කොට්ලන්ත ජාතික කාන්තාව මේ වන විට සැඟවී සිටින බැවින් ඇයව සොයා බුද්ධි අංශ විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

ඒ ඇයට ඉකුත් 15 දාට පෙර රටින් පිටව යන ලෙසට ආගමන විගමන නිලධාරීන් දැනුම්දී තිබියදීත් ඇය මෙතෙක් රටින් පිටව නොයා මෙරට සැඟවී රැඳී සිටින බැවිනි. තමාව මෙරටින් පිටුවහල් කිරීමට එරෙහිව ඇය විසින් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්ද පසුගියදා යොමු කළ අතර, එයද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය. ඇය අතුරුදන්ව සිටින්නේ එම අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් වීමත් සමඟිනි. ආගමන විගමන නිලධාරීන්ද මේ වන විට ඇයව සොයා විමර්ශන ආරම්භ කර ඇති අතර, බුද්ධි අංශය ඒ අයට ලබා දෙන්නේ සහායක් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඇගේ වීසා අවලංගු කර ඇයට ඉකුත් 15 දාට පෙර රටින් පිටවන්නැයි ආගමන විගමන බලධාරීන් විසින් දැනුම් දෙන්නේ ඇයට 2023 මාර්තු දක්වා මෙරට රැඳී සිටීමට වීසා නිකුත් කර තිබුණු පසුබිමක් තුළදීය.

වීසා අවලංගු කරන ලද විදේශ තරුණිය සොයා ගැනීමෙන් අනතුරුව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් අනතුරුව ඇය මෙරටින් පිටුවහල් කිරීමට කටයුතු කරන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.