ගෝඨාභයට ශ්‍රී ලංකාවට එන්න ඉඩ සලසන්න

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවකාශ සලසන්නැයි පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (18) පස්වරුවේ ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේදී හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

මෙහිදී අදහස් පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ පවතින ආර්ථික අර්බුදය විසඳමින් රට ගොඩ නැඟීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය දෙන බවයි.

ඊට අමතරව ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂිතව යළි මෙරටට පැමිණීම සඳහා කඩිනමින් අවකාශ සැලසිය යුතු බවයි. එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලා සිටින ප්‍රමුඛතම ඉල්ලීම බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මීට පෙර අවස්ථා කිහිපයකදී ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමිපාණන් ඇතුළු නායක ස්වාමීන් වහන්සේ කිහිප නමක්ම මේ ඉල්ලීම ජනාධිපතිවරයාගෙන් කර තිබේ.

මේ සාකච්ඡාවට පොදුජන පෙරමුණ වෙනුවෙන් ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න සහභාගි වූහ. ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සාගල රත්නායක, වජිර අබේවර්ධන, රුවන් විජයවර්ධන හා ශමල් සෙනෙවිරත්න සහභාගි වූහ. අකිල විරාජ් කාරියවසම්, රංගේ බණ්ඩාර හා මහාචාර්ය ආශු මාරසිංහ මීට සහභාගිවීමට නියමිතව සිටියද අසනීප තත්ත්වයන් හේතුවෙන් මීට සහභාගී වී නැත.

Leave a Reply

Your email address will not be published.