මහනුවර තරු හෝටලේ මඟුල් සාදයෙන් 600කගේ බඩ සුද්දයි

මහනුවර තරු හෝටලයකදී පසුගියදා පැවති විවාහ මංගල උත්සවයකින් පසු හදිසියේ රෝගාතුර වූ 600ක් පමණ වූ පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුව ඇත.

මංගල උත්සවයෙන් පසුව මධුසමය සඳහා මැලේසියාවට ගිය මනාල යුවළ මධුසමය පසෙකලා එරට රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන ඇතැයි දැන ගන්නට තිබේ.

මහනුවර ප්‍රධාන පෙළේ ව්‍යාපාරික පවුලක සාමාජිකයකුගේ විවාහ මංගල උත්සවයක් මෙදින අදාළ හෝටලයේ පවත්වා තිබේ.

උත්සවයෙන් පසු මනාල යුවළ මධුසමය සඳහා විදේශගත වීමට සැලසුම් කර තිබී ඇත. ඒ අනුව මනාල යුවළ එදින රාත්‍රියේ විදේශගත වෙත්දී මංගල උත්සවයට ගිය විශාල පිරිසක් නිවෙස්වලට නොගොස් කෙළින්ම ගොස් ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටය. අසාත්මිකතාව නිසා රෝගිවූ පිරිස රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වලින්ද ප්‍රතිකාර ලබාගෙන තිබේ.

අදාළ තත්ත්වය හේතුවෙන් විවාහ මංගල්‍යය සංවිධාන කළ ව්‍යාපාරිකයාද දැඩි අසීරුතාවට පත්ව තිබෙන බව වාර්තා වෙයි.

හෝටලයෙන් ආහාර සහ ජලය ගත් අයට උණ, හිසරදරය, වමනය, බඩඑළිය යෑම වැනි රෝග ලක්ෂණ දින තුනක් පමණ තිබී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.

මේ හෝටලයේ අදාළ දිනයේ තවත් මංගල උත්සව දෙකක් පවත්වා ඇති අතර, ඒවාට සහභාගි වූ අයද වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුව තිබෙන බව දැන ගන්නට ඇත.

මංගල උත්සව තුනටම සහභාගි වූ පිරිස මෙලෙස රෝගී වීම නිසා අාහාරවලට වඩා ජලයේ ගැටලුවක් හේතුවෙන් එම තත්ත්වය ඇති වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැක කරයි.

සෞඛ්‍ය අංශ මගින් අදාළ හෝටලයේ ජල ටැංකියේ ජල සාම්පල වැඩි දුර පරීක්ෂණ සඳහා (17) දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනාගාරය වෙත යොමු කර තිබේ.‍

සිද්ධිය සිදුවී දින කිහිපයක් ගත වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීම නිසා පරීක්ෂණ කටයුතුවලට බාධා පැමිණි බව සෞඛ්‍ය අංශ පවසයි.

Leave a Reply

Your email address will not be published.