පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කළ යුතුයි

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ද ඉකොනොමිස්ට් සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගුවන් සමාගමට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් වැනි ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කළ හැකි බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගය ගැටලුවක් බව සඳහන් කළ ජනාධිපතිවරයා වසර 40ක් පුරා එම ක්ෂේත්‍රයේ රැඳී සිටින පිරිස සමඟද සාකච්ඡා කර නව ආයෝජන සඳහා අවස්ථා විවෘත කරන බවද කීය.

රජයට ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේදී වෘත්තීය සමිති දක්වන විරෝධය ගැන තමා කරදර නොවන බවත් තමාට වැදගත් වන්නේ ජනතාව බවත් කී ජනාධිපති වික්‍රමසිංහ මහතා තත්ත්වය යහපත් වන බව ජනතාවට තේරුම් යන විට ඔවුන් මේ ක්‍රියාවලිය සමඟ ඉදීවි යැයි සඳහන් කළේය.

2018 වසරේ පැවති තත්ත්වයට යළි පැමිණීමට අපට වසර 2024 -2025 පමණ හැකි වේයැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. 2023 වසර ආරම්භයත් ශ්‍රී ලාංකිකයන්ට අසීරු වුවත් වසර අවසාන වන විට යහපත් අතට හැරෙනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එපා කියනවා නම් ඒ සඳහා විකල්ප සැලසුමක් ඉදිරිපත් කළ යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ආර්ථිකය යළි නඟා සිටුවීමේදී බදු යළි ඉහළ දැමීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වන බවත් ජනාධිපතිවරයා පැවසීය. නව බදු සඳහා මුදල් පනතක අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

තමා 22 වැනි සංශෝධනය ගෙන ඒමට මූලිකත්වය ගෙන කටයුතු කරන බවත් ඉන් පසුව නව ව්‍යස්ථාවක් සඳහා කටයුතු කළ හැකි බවත් ජනාධිපතිවරයා කීය. රට අර්බුදයෙන් ගොඩ ගැනීමේ වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවට බව කී ජනාධිපති වික්‍රමසිංහ මහතා අයි.එම්.එෆ්. යෝජනා තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඊට වඩා හොඳ යෝජනා ඇත්නම් ඉදිරිපත් කළ හැකි බවත් කීය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනයට බ්‍රිතාන්‍ය බුද්ධි අංශ සම්බන්ධ කර ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් මතු වී ඇති බවත් කී වික්‍රමසිංහ මහතා අවසන් සමාලෝචනය සඳහා බ්‍රිතාන්‍යයේ සහාය ලබා ගන්නා බවත් සඳහන් කළේය. ලබන වසර වන විට ප්‍රේෂණ ලැබීම වඩා හොඳ විය හැකි වන අතර, මේ සීත ඍතුව ආරම්භ වන විට සංචාරක ව්‍යාපාරය දියුණු වනු ඇතැයි අපේක්ෂා කරන බව කී ජනාධිපතිවරයා ලබන වසර වන විට ගිම්හාන කාලයේද සංචාරකයන් ලබා ගත යුතු බව අවධාරණය කළේය.

ජනතාවට සත්‍ය ප්‍රකාශ කිරීමේ අත්දැකීම් මොනවාදැයිද ඉකොනොමිස්ට් සඟරාව ඇසූ පැනයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවසුවේ තමා ඡන්ද කිහිපයක් පරාජයට පත් වීම යැයි කීය. නිවෙසට ගිය පසු පොත් කියවීමට සහ හොඳ සංගීතයකට සවන් දීමට නැති නම් එය දැනෙන කරුණක් බවත් ජනාධිපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published.