2026 දී විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවට

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026 වසරේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි. එහි තරග කිහිපයක් ඉන්දියාවට ද දෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ අනාගත ක්‍රිකට් තරග කාලසටහන (Men’s Future Tour Program) මඟින් තහවුරු කොට තිබේ.

මේ අනාගත ක්‍රිකට් තරග කාලසටහන 2027 දක්වා සැලසුම් කොට ඇති අතර, එම කාලසීමාව තුළදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 28කට, එක්දින තරග 63කට හා විස්සයි20 තරග 60කට ක්‍රීඩා කිරීමට නියමිත බව දැක්වේ.

ලබන වසරේ ඉන්දියාවේදී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන අතර, වසර 2024දී විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව්හිදී හා අමෙරිකාවේදී පැවැත්වේ. 2025 වසරේ දී ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේදී පැවැත්වීමටත්, 2027 එක්දින ලෝක කුසලානය දකුණු අප්‍රිකාවේ, සිම්බාබ්වේ හා නැමීබියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමටත් සූදානම් වේ.

ඉදිරි වසර 5ක කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් වරම් හිමි රටවල් 12ක් අතර, ටෙස්ට් තරග 173ක්, එක්දින තරග 281ක් හා විස්සයි20 තරග 323ක් ක්‍රීඩා කිරීමට සැලසුම් කොට ඇත.

ලබන වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ටෙස්ට් තරග 5කට, එක්දින තරග 11කට හා විස්සයි20 තරග 6කට ක්‍රීඩා කිරීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනාගත ක්‍රිකට් තරග කාලසටහනේ දැක්වේ. 2023 ජනවාරි මාසයේදී ඉන්දියාවේදී ඉන්දීය පිල සමඟ එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 3ක්, ලබන ජනවාරි පෙබරවාරි මාසවලදී ඇෆ්ඝනිස්තානයට එරෙහිව මෙරටදී එක්දින තරග 3ක්, මාර්තු – අප්‍රේල් මාස අතරතුරදී නවසීලන්ත පිල සමඟ නවසීලන්තයේදී ටෙස්ට් තරග 2ක්, එක්දින හා විස්සයි20 තරග 3ක් බැගින්, අප්‍රේල් මාසයේදී අයර්ලන්තයට එරෙහිව මෙරටදී ටෙස්ට් තරගයක් හා එක්දින තරග 2ක්, පාකිස්තානයට එරෙහිව මෙරටදී ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිතය.

වසර 2024දී ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ටෙස්ට් තරග 9කට, එක්දින තරග 18කට හා විස්සයි 20 තරග 21කට ක්‍රීඩා කිරීමට නියමිත වේ. එම තරගාවලි වන්නේ 2024 ජනවාරි මාසයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක්, 2024 ජනවාරි – පෙබරවාරි මාසවලදී ඇෆ්ඝනිස්තානයට එරෙහිව මෙරට දී ටෙස්ට් තරගයක් හා විස්සයි20 තරග 3ක්, 2024 පෙබරවාරි – මාර්තු මාසවලදී බංග්ලාදේශයට එරෙහිව බංග්ලාදේශයේදී ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 3ක්, ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහිව මෙරටදී එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 3ක් ලෙසනි.

2024 වර්ෂයේ අගෝස්තු මාසයේදී එංගලන්තයට එරෙහිව එංගලන්තයේ දී ටෙස්ට් තරග 2ක් පැවැත්වෙන අතර සැප්තැම්බර් – ඔක්තෝබර් මාසවලදී නවසීලන්තයට එරෙහිව මෙරටදී ටෙස්ට් තරග 2ක්, ඔක්තෝබර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව මෙරට දී එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක්, නොවැම්බර් මාසයේදී නවසීලන්තයට එරෙහිව මෙරට දී එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක්, නොවැම්බර් – දෙසැම්බර් මාසවලදී දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරග 2ක් හා දෙසැම්බර් මාසයේදී නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 3ක් පැවැත්වීමට නියමිත වේ.

2025 ජනවාරි – පෙබරවාරි මාසවලදී ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙරට දී ටෙස්ට් තරග 2ක්, ජූලි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව මෙරටදී ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 3ක්, 2025 සැප්තැම්බර් මාසයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව එරටදී එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 3ක්, නොවැම්බර් මාසයේදී අයර්ලන්තයට එරෙහිව මෙරටදී එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 3ක්, නොවැම්බර් – දෙසැම්බර් මාසවලදී පාකිස්තානයට එරෙහිව පාකිස්තානයේදී එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 3ක් පැවැත්වේ.

2026 ජනවාරි – පෙබරවාරි මාසවලදී එංගලන්තයට එරෙහිව මෙරටදී එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක්, මාර්තු මාසයේදී ඇෆ්ඝනිස්තානයට එරෙහිව එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 3ක්, ජූනි – ජූලි මාසවලදී බටහිර ඉන්දීය කොදෙව්හිදී ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 3ක්, අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 2ක්, සැප්තැම්බර් මාසයේදී එංගලන්තයට එරෙහිව එංගලන්තයේදී එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 3ක්, ඔක්තෝබර් – නොවැම්බර් මාසවලදී පාකිස්තානයට එරෙහිව පාකිස්තානයේදී ටෙස්ට් තරග 2ක්, විස්සයි20 තරග 3ක් හා පාකිස්තානය, එංගලන්තය සහභාගීවන තුන්කොන් එක්දින තරගාවලියක් පැවැත්වේ.

එමෙන්ම 2026 දෙසැම්බර් – 2027 ජනවාරි මාස අතරතුරදී ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 3ක්, 2027 ජනවාරි – පෙබරවාරි මාසවලදී නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේ දී ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක්, විස්සයි 20 තරග 3ක් හා මාර්තු මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව මෙරටදී ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට සැලසුම් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published.