මුදල් අර්බුද අස්සේ කෝටි 63477ක තොරම්බල් ගෙනල්ලා

රටේ විදේශ මුදල් අර්බුදයක් පවතින බව දැන දැනත් 2020 වර්ෂයේදී විවිධ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ( තොරම්බල් බඩු) ගෙන්වීම සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 63477ක පමණක් මුදලක් වැය කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය කළ අධ්‍යයනයකදී තොරතුරු හෙළිවූ බව එහි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මෙම භාණ්ඩවලින් වැඩි හරියක් අත්‍යවශ්‍ය නොවන සහ මෙරටදී නිෂ්පාදනය කළ හැකි ඒවා බව පැවසූ මහාචාර්යවරයා මෙම අනවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට වැයවූ මුදලින් තෙල් නැව් 100 කට ආසන්න සංඛ්‍යාවක් ගෙන්වීමට හැකියාව තිබූ බවද ප්‍රකාශ කළේය.

මේ අධ්‍යයනයේ දී හෙළි වූ තොරතුරු අනුව පැන්සල්, පෑන්,මකන සහ තීන්ත රිබන් සඳහා රුපියල් කෝටි 215ක්ද සරුංගල් ඇතුළු සෙල්ලම් බඩු සඳහා රුපියල් කෝටි 984 ක් ද ඔලුව පීරන පනා සඳහා කෝටි 31ක්ද කොහු ඉදල් සඳහා කෝටි 35ක් ද වතුර බෝතල් සඳහා කෝටි 55 ක්ද අවි ආයුධ සඳහා කෝටි 95ක්ද සපත්තු කුඩ හිස් වැසුම් සඳහා කෝටි 655ක්ද සබන් ඇතුළු පවිත්‍රකාරක ද්‍රව්‍ය සඳහා කෝටි956ක්ද සුවඳ විලවුන් ක්‍රීම්වර්ග සඳහා කෝටි 1775ක්ද පළතුරු යුෂ වර්ග සඳහා කෝටි 74ක්ද චීස් හා බටර් සඳහා කෝටි 336 ක්ද එළවළු සහ පලතුරු සඳහා රුපියල් කෝටි 18,382ක්ද ( ඩොලර් මිලියන නමසිය විසි හතරක්) විවිධ ගෘහ භාණ්ඩ සඳහා කෝටි 1869ක්ද වාහන අමතර කොටස් සඳහා කෝටි 19,000ක්ද සත්ව සම් සඳහා කෝටි 493ක්ද ප්ලාස්ටික් සහ රබර් සඳහා කෝටි 18522ක්ද වැය කර ඇතැයි එම සමීක්ෂණයේදී තොරතුරු අනාවරණයවී ඇත.

එළවලූ පළතුරු සඳහා වැය කෙරුණු රුපියල් කෝටි 18,382 ක මුදලින් තෙල් නැව් 19 ක්ද ගෘහ භාණ්ඩ ගෙන්වීමට වැයවූ රුපියල් කෝටි 1869 ක මුදලින් තෙල් නැව් දෙකක්ද ප්ලාස්ටික් සහ රබර් ගෙන්වීමට වැය වූ රුපියල් කෝටි 18522ක මුදලින් තෙල් නැව් 19ක්ද ගැනීමට හැකියාව තිබුණු බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් පැවසීය.

මහාචාර්ය අතුකෝරල මහතාගේ මූලිකත්වයෙන් මෙම අධ්‍යයනය කරනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published.