අන්තරේ විරෝධතාවට සිසුන් බය කර බලෙන් ගෙනිහින්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පෙරේදා (18) සංවිධාන කළ විරෝධතාවට සිසුන් රැගෙන විත් ඇත්තේ බලහත්කාරයෙන් සිසුන්ව බිය ගන්වමින් බව බුද්ධි අංශ සඳහන් කරයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුන්ට මේ දිනවල විභාග පැවැත්වෙන බවත් පෙරේදා විභාගය අවසන් වීමෙන් පසු සිසුන්ව ඔවුන් පෙළ ගස්වා උද්ඝෝෂණයට රැගෙන විත් තිබෙන බවත් බුද්ධි අංශ සඳහන් කරයි.

මෙසේ සිසුන්ව බලහත්කාරයෙන් උද්ඝෝෂණයට රැගෙන ගොස් ඇත්තේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකයන්ය. යුනියන් පෙදෙසේදී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර සිසුන් විසුරුවා හරින අවස්ථාවේදී එම සිසු නායකයන් ආරක්ෂිත ස්ථානවලට රිංගා බලෙන් එහි රැගෙන ආ සිසුන් බිල්ලට දී ඇතැයිද බුද්ධි අංශ සිය ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. කොළඹ සහ ඒ අවට පදිංචිව සිටින ඇතැම් සිසුන් ඉහළ සිසුන්ගේ බිය ගැන්වීම්වලට අවනත නොවී විභාගය අවසන් වීමෙන් පසු නිවෙස් වෙත ගොස් ඇති බවද බුද්ධි අංශ සඳහන් කරයි. ඒ අතර ඇතැම් මවුපියන් තම දරුවන්ව රැගෙන ගොස්ද තිබේ.

දුර බැහැර සිට විශ්වවිද්‍යාලවලට පැමිණ නේවාසිකාගාර සහ බෝඩිම්වල සිටින සිසුන් වැඩි පිරිසක් මෙසේ බිය ගැන්වීම්වලින් උද්ඝෝෂණයට රැගෙන යෑමට පහසුවක් වී තිබෙන බවද බුද්ධි අංශ විසින් සිය ඉහළ නිලධාරීන්ට කර ඇති දැනුම්දීම්වල සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.